ඇමති ටී.බී.ඒකනායක ඉඩම් දෙන්න කප්පම් ගත් බවට චෝදනා..!

ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා විසින් රුපියල් ලක්‍ෂය බැගින් ලබා ගනිමින් රජයේ ඉඩම් නීති විරෝධී ලෙස හිතවතුන් අතරේ බෙදා දෙන බවට චෝදනා කරමින් ජවිපෙ සහ එජාප මන්ත්‍රීවරුන් මෙන්ම ගම්වාසීහු පිරිසක්‌ පසුගියදා (08) මහව රිදීබැඳි ඇල්ල ප්‍රදේශයේදී විරෝධතාවක නිරත වූහ.
සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න, මහව ප්‍රාදේශීය සභාවේ එජාප හිටපු සභාපති පේමදාස සිල්වා, හිටපු මන්ත්‍රී අනුර බණ්‌ඩාර, හිටපු මන්ත්‍රී දිසානායක යන දේශපාලන නායකයෝ ද දැදුරුඔය සීමාවේ ගංවතුරට නිවාස හානි වන ජනතාව ඇතුළු විශාල පිරිසක්‌ ද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.
ගජමුතු පියස නමින් නම් කළ මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක්‌ බව පවසමින් මෙම ඉඩම සඳහා එක්‌ අයකුගෙන් රුපියල් ලක්‍ෂය බැගින් පසුගියදා එක්‌රැස්‌ කරමින් ලේඛනයක්‌ සකස්‌ කොට තිබුණු බවත් එසේ මුදල් එකතු කළේ ඇමැතිවරයාගේ ලේකම්වරයකු බවත් උද්ඝෝෂකයෝ පැවසූහ. එම ලේඛනයේ සිටි සියලුම දෙනා සඳහා පසුගිය පොහොය දිනයේ මෙම ඉඩම් කට්‌ටි භාරදීම සිදු කර ඇතැයි ද ඔවුහු කීහ.
එලෙස බෙදා දී ඇති ඉඩම මහව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ගජනැග්ගම විහාරස්‌ථානයට නුදුරින් අනුරාධපුර ඇල්ල මාර්ගයට මුහුණලා පිහිටා ඇත. දැනටමත් එම ඉඩමෙහි ඉඩම් කට්‌ටි වෙන් කළ බවට වූ සලකුණු කෙරුණු කණු සිටුවා ඇත. මෙම විරෝධතාව පැවැත්වූයේ ද එම ඉඩම අසල ප්‍රධාන මාර්ගයේ සිටය. විරෝධතාව අවසානයේ සියලුම දෙනා අදාළ ඉඩමට පැන මායිම් කණු ගලවා දමන අයුරු ද අපට දැකගත හැකි විණි.
මෙහිදී නාමල් කරුණාරත්න මහතා දුරකථනය ඔස්‌සේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා අමතා විසඳුමක්‌ ඉල්ලා සිටියේය. එවේලෙහිම මෙම ඉඩම් බෙදීම නැවැත්වීමට තමන් මහව ප්‍රාදේශීය ලේකම්වරයාට නියෝග කළ බව දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා කියා සිටියේ යෑයි නාමල් කරුණාරත්න මහතා පැවසීමත් සමග පිරිස විසිර ගියහ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.