සමන් කුමාරගේ කාමරය වෙනුවෙන් මහේන්ද්‍රන් සහකාර අධිපතිටත් තඟ දමලා

සමන් කුමාර නමැත්තා අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ ඉදිරිපස කාර්යාලයට (Front office) අනුයුක්‌ත කරන ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තමාට දුරකථනයෙන් කතා කර තර්ජනය කළ බව මහ බැංකුවේ සහකාර අධිපති ආර්. ඒ. ඒ. ජයලත් මහතා ඊයේ (31 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය.
ඔහු (සමන් කුමාර) සී. එෆ්. ඒ. සුදුසුකම් සහිත පුද්ගලයෙකු බව කියමින් ඔහු සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ ඉදිරිපස කාර්යාලයට අනුයුක්‌ත කරන ලෙස තමාට බැණ වදිමින් 2015 ජුනි 09 දින හිටපු අධිපතිවරයා සැරෙන් කියා සිටි බවද ජයලත් මහතා කොමිසමට හෙළි කළේය.
තමා ඔහු යොමු කළේ අවදානම් කළමනාකරණ අංශයට බවද ඔහුගේ අතීත ක්‍රියාකලාපය පවා ප්‍රශ්නකාරී බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සෙසු නිලධාරීන් තමාට ප්‍රකාශ කර තිබු බවද පැවසු ජයලත් මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
බී. එච්. අයි. සමන් කුමාර සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවට 2015 ජුනි 08 දින මාරු කර තිබුණා. ඔහු දෙපාර්තමේන්තුවේ යම් අංශයකට අනුයුක්‌ත කිරීම දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස මගේ කාර්යයක්‌. ඒ අනුව ඔහු මූලික වශයෙන් අවදානම් කළමනාකරණ අංශයට යොමු කළා. එහෙත් ඊට පසු දිනම මහේන්ද්‍රන් මහතා මට දුරකථනයෙන් කතා කර බැණ වැදුණා. ඔහු කිව්වා සී. එෆ්. ඒ. සුදුසුකම් සහිත කෙනෙක්‌ මම එව්වා. ඔහු දැන් මට ඇවිත් කියනවා ඔහුව (සමන් කුමාරව) ඉදිරිපස කාර්යාලයට නොදා වෙනත් අංශයකට දාලා කියලා. මේ දුරකථන ඇමතුමෙන් මම බොහෝ කලකිරීමකට පත් වුණා.
ඒ අනුව තම අකමැත්ත මත වුවත් සමන් කුමාරව ඉදිරිපස කාර්යාලයට දමන ලෙස හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළ බවත් එසේ නොකළානම් තමාට එළියට යාමට සිදු වනු ඇති බවත් මහ බැංකුවේ සහකාර අධිපති ආර්. ඒ. ඒ. ජයලත් මහතා බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ජයලත් මහතාගේ සාක්‍ෂි මෙහෙයවීම සිදු කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *