ශ්රී ලංකාව සහ පකිස්තානය අතර මෙම මස 28 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා විසි පස් දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. මෙම තරගාවලියේ එක් ටෙස්ට් තරගයක් දිවා රාත්රී තරගයක් ලෙසින් පැවැත්වේ. ශ්රී ලංකාව පළමු වරට දිවා රාත්රී ටෙස්ට් තරගයකට මුහුණ දෙන පළමු අවස්ථාව ලෙසද සටහන් වේ.
සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ක්රිකට් තේරීම් කමිටුව නම් කරන ලද අවසන් සංචිතයද මෙය වන අතර ඉන් අවසන් පහළොස් දෙනා නම් කිරීම නව ක්රිකට් තේරීම් කමිටුවක් විසින් සිදුකරනු ලබයි. නම් කරන ලද ටෙස්ට් සංචිතයෙන් එක්දින ක්රිකට් නායක උපුල් තරංග ඇතුළත් නොවේ. ඊට හේතුව වන්නේ එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා සිය හැකියාව ඔප් නංවා ගැනීම වෙනුවෙන් මාස හයක කාලයක් යන තුරු ටෙස්ට් පිලෙන් ඈත්ව සිටීමට තරංග ගත් තීරණයට ක්රිකට් ආයතනය අනුමැතිය ලබාදීමයි.
තරංගගේ ස්ථානයට පිතිකරුවාගේ රාජකාරියට කෞෂාල් සිල්වා, සධීර සමරවික්රම හෝ චරිත් අසලංක යන ක්රීඩකයන්ගෙන් එක් අයකු නම් කිරීමේ වැඩි අවස්ථාවක් පවතී. මේ අතර පන්දු යෑවීමේ ඉරියව්ව හේතුවෙන් වසරකට වැඩි කාලයක් ක්රිකට් පිටියෙන් ඉවත්ව සිටි ෂමින්ද එරංග සිය ඉරියව්ව නිවැරදි කරගැනීමෙන් පසුව යළිත් පළමු වරට ශ්රී ලංකා සංචිතයට කැඳවා තිබේ. මීට අමතරව ආබාධයකින් පසුව ධම්මික ප්රසාද් ද නැවතත් සංචිතයට නම් කර තිබේ.
ගාල්ලේදී ආබාධයකට ලක්වූ අසේල ගුණරත්න සම්පූර්ණ සුවය නොලබා තිබීම හේතුවෙන් ඔහුට පකිස්තාන් සංචාරයම අහිමිවී යැමේ අවදානමක් මතුව ඇති අතර කුසල් ජනිත් පෙරේරාටද එම සංචාරයේ එක්දින හෝ විස්සයි විස්ස තරගාවලිය වන විට සම්පූර්ණ සුවය ලැබීමේ හැකියාවක් ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.
නම් කරන ලද ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්රම, රංගන හේරත්, සුරංග ලක්මාල්, නුවන් ප්රදීප්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්රනාන්දු, ළහිරු කුමාර, ජෙµaරි වැන්ඩ්රසි, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, දුෂ්මන් චමීර, ඩිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, රොෂේන් සිල්වා, අකිල ධනංජය, චරිත් අසලංක, ෂමින්ද එරංග, ධම්මික ප්රසාද්.