කුකුළු ගොවීන් වසුරු සමඟ කොළඹ එන්න සැරසෙයි

දිවයිනේ කුකුළු ගොවීන්ට බලපා ඇති ප්‍රශ්නවලට නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් සතියක් තුළ අනෙකුත් ගොවි සංවිධාන සහ ගොවීන් සමඟ එක්ව විසඳුම් ඉල්ලා කුකුළු වසුරු අතැතිව නිලධාරීන් හමුවට පැමිණෙන බව ලංකා සුළු හා මධ්‍ය පරිමාන කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමය සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කියා සිටී.
පසුගියදා(19) දින දඹුල්ල ප්‍රදේශයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසීය .
ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ගේ සංගමය හා සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය ඒකාබද්ධව මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. මෙම අවස්ථවට සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමයේ ජාතික සංවිධායක ප්‍රසන්න සෙනවිරත්න, එම සංගමයේ සභාපති සමින්ද්‍ර මනම්පේරි, භාණ්ඩාගාරික එම්.ආර්.එම්. හන්සාර් යන මහත්වරුන්ද මාධ්‍ය හමුවේදී අදහස පළකළහ.
“ලංකාවේ ලුණු ගොවියා, වී ගොවියා, කිරි ගොවියා, බුලත් ගොවියා, ගම්මිරිස් ගොවියා, සොයා ගොවියා, උක් ගොවියා මෙන්ම වර්තමානය වනවිට කුකුළු ගොවියාද බරපතල අර්බුදයකට මුහුණපා සිටිනවා.
කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලක්ෂ 10කට වැඩි පිරිසක විවධ රැකියවන්හි නිරතව සිටිනවා. ලක්ෂයක් පමණ දෙනා ඍජුවම කුකුළු මස් නිෂ්පාදනයේ යෙදී ඉන්නවා.
කුකුළු ආහාර වර්ග සියල්ලේම මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා. ඊට අමතරව සත්ව ඖෂධ ඇතුළු අධික නිෂ්පාදන පිරිවැයක් මෙන්ම පැය 12කට වැඩි කාලයක් තම ශ්‍රමය ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබෙනවා.
එක කුකුළු මස් කිලෝවක් සදහා නිෂ්පාදන පිරිවැය රුපියල් 235ක 240ක මුදලක් වැයවෙනවා. නමුත් ජීව බරින් කුකුළු මස් කිලෝවක මිල රුපියල් 190ක් 200ක් වෙනවා. කුකුළු නිෂ්පාදකය විෂාල පාඩුවක් ලබමින් අද කර්මාන්තයේ නියැලී සිටිනවා. ඔවුන් විශාල ලෙස බැංකු ඇතුළු මුල්‍ය ආයතනවලට ණය වී තිබෙනවා. කුකුළු ව්‍යාපාරය ආරම්භ කිරීමට විශාල මුදලක් ආයෝජනය කර තිබෙනවා.
වසරකට ලංකාවේ ඒක පුද්ගල මස් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 7.5ක් වෙනවා. මෙම පරිභෝජන තත්වය ඉහළ දැමිය යුතු වෙනවා. සත්ව ආහර සදහා පනවා ඇති ආනයනික බදු අඩු කරන ලෙසත් කුකුළු මව් පැටවුන් ලබාදීමේදී සහනයක් ලබාදිය යුතුයි” යැයි මෙහිදී නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේය.
සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමයේ ජාතික සංවිධායක ප්‍රසන්න සෙනවිරත්න මහතා කියා සිටියේ තමන් ඇතුළු කුකුළු නිෂ්පාදකයින් මුහුණපා සිටින ගැටලුවලට විසදුම් ලබාගැනීමට විෂය භාර අමාත්‍යවරයාට ඉකුත් 12 වෙනි දින ලිඛිතව ඉල්ලා ඇති බවත් ඒ පිලිබදව මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව කියා සිටියේය. පැවති හා වර්තමන් ආණ්ඩුවද කුකුළු නිෂ්පාදකයින් මුහුණපා සිටින ගැටළු පිලිබදව අවධානය යොමු නොකළ බවටද ඔවුන් චෝදනා කළේය.
විශාල සමාගම් හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා උග්‍ර අර්බුදයකට මුහුණපා ව්‍යාපාරය කරගෙන යා නොහකි තැනකට ඇදදමා ඇති බවද ඒ මහතා අවධාරණය කළේ ය. මව් සතුන් වෙලදපොලේ අවශ්‍යතාවයන් මත ආනයනය කිරීමට මෙන්ම කුකුළු නිෂ්පාදන ක්ෂේත්‍රය විධිමත් අයුරින් නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියෙය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *