අර්ජුන් ඇලෝෂියස්‌ බැඳුම්කර කොමිසම මඟ හැරීමේ උත්සහයක!

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීම මඟ හැරීමේ උත්සහයක් පවතින බවට වාර්තාවේ. ඔහුව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂී දීමට කැඳවීම සම්බන්ධයෙන් ඇලෝෂියස්‌ මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විරෝධය පළ කරයි.
පෙරේදා (08 දා) කොමිසමේ සාක්‍ෂි විභාගයේදී කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මේ බව කොමිසමට කීවේය. මේ සම්බන්ධයෙන් නීතිඥ ප්‍රේමරත්න මහතා විසින් මේ සතිය මුලදී කොමිසමට කරුණු දැක්‌වීමට නියමිතය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාගේ සාක්‍ෂි විභාගය දැන් සිදුවන අතර ඉන් පසුව සාක්‍ෂි ලබාගැනීම සඳහා අර්ජුන් ඇලෝෂියස්‌ මහතාව කොමිසම හමුවට කැඳවීමට නියමිතය. පලිසේන මහතාගේ සාක්‍ෂි අඟහරුවාදා වන විට අවසන් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
එසේම අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට කොමිසමට කීමට බලාපොරොත්තු වන දේ දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් ඔහුගේ සාක්‍ෂි විභාගය ආරම්භයේදී කොමිසමට ලබාදෙන ලෙස කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතාට දැනුම් දුන්නේය. දිවුරුම් ප්‍රකාශය ලබාදීමට විරෝධයක්‌ නැති බවත් එහෙත් තමා විරෝධය පළ කරන්නේ සාක්‍ෂි ලබාගැනීම සඳහා ඇලෝෂියස්‌ මහතාව කොමිසමට කැඳවීම ගැන බව ද ප්‍රේමරත්න මහතා කීවේය.
ඒ සම්බන්ධව මේ සති අන්තයේදී තීරණයක්‌ ගැනීමට හැකි බව විනිසුරු ජයවර්ධන පසුගිය සිකුරාදා පවසා සිටියේය.
අර්ජුන් ඇලෝෂියස්‌ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ඒ මහතා ඉකුත් බ්‍රහස්‌පතින්දා (07 දා) උදේ 8.30 ට කොමිසම හමුවට කැඳවා තිබූ අතර සිකුරාදා දවස පුරා ද ඔහු ප්‍රකාශ ලබාදුන්නේය. එසේම සෙනසුරාදා සහ ඉරිදා දිනවලත් ඇලෝෂියස්‌ මහතාගෙන් කොමිසමට අනුයුක්‌ත රහස්‌ පොලිස්‌ අංශය මගින් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව තිබිණි.
මේ අතර මේ සතිය තුළදී කොමිසමේ සාක්‍ෂි විභාගය අතරතුර පටිගත කළ දුරකථන ඇමතුම් මගින් තවත් රහස්‌ රැසක්‌ කොමිසම හමුවේ හෙළිදරව් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *