අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර වෙන්දේසිය දා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට රිංගූ බව පිළිගනී

2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ ප්‍රතිඵල පරික්‌ෂා කිරීමට තමා එදින වෙන්දේසිය අවසන් වූ පසු මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පිළිගත්තේය.
එදින දෙවරක්‌ තමා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය බවද පළමු වර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගියේ 2015.02.27 දින උදේ 11.00 ට පමණ බවද මහේන්ද්‍රන් මහතා කීවේය.
දෙවැනි වර තමා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගියේ ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ආනන්ද සිල්වා යන මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනා සමඟ එදින දවල් 12.15 ට පමණ බවද මහේන්ද්‍රන් මහතා කීවේය.
ජනාධිපති බැඳුම්කර කොමිසම විසින් ඊයේ (19 දා) මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට සාක්‌ෂි දීම සඳහා කොමිසම හමුවට පැමිණෙන ලෙස කැඳවා තිබූ අතර ඒ අනුව මහේන්ද්‍රන් මහතා කොමිසම හමුවේ සාක්‌ෂි දුන්නේය. අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ මහේන්ද්‍රන් මහතා සාක්‌ෂි දුන්නේය.
මහේන්ද්‍රන් මහතා සාක්‌ෂි කූඩුවට නැගීමට පෙර කොමිසමට ප්‍රකාශයක්‌ කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරට පුරවැසියකු නොවන බැවින් ඒ මහතාට සාක්‌ෂි දෙන ලෙස මේ කොමිසමට බලකළ නොහැකි බවද කීවේය.
නීතිඥ ද සිල්වා මහතා ගේ විස්‌තරාත්මක ප්‍රකාශයෙන් පසු අර්ජුන මහේන්ද්‍රන් මහතා සාක්‌ෂි කූඩුවට නැග දිවුරුම දුන්නේය.
නම – අර්ජුන මහේන්ද්‍රන්
ආගම – හින්දු
වයස – 58
පදිංචිය – සිංගප්පූරුව
කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන –
මහේන්ද්‍රන් මහතා (අමතමින්) ඔබගෙන් ආගම කුමක්‌ද ඇහුවට ඔබ පිළිතුරු දුන්නෙ සිංගප්පූරුව කියලයි.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා – ඔහු කිව්වේ හින්දු කියලයි.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ මෙහෙයවීම පිට සාක්‌ෂි දෙමින් අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙසේ ද කීය.
මා 1981 දී ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක්‌ ලැබුවා. පසුව එංගලන්තයේ ඔක්‌ස්‌µර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ද ආර්ථිකය පිළිබඳ උපාධියකින් සමත් වුණා.
ඊට පසුව මූල්‍ය ආයතන කීපයක තනතුරු දැරුවා. ශ්‍රී ලංකාවේ වාණිජ උසාවි පිහිටුවීමට මූලිකව කටයුතු කළේ මායි. වාණිජ ක්‍ෂේත්‍රයට අදාළ නඩු විභාග කිරීමේ විශාල ප්‍රමාදයක්‌ ඇති වී තිබූ නිසයි වාණිජ උසාවි පිහිටුවීමට මා යෝජනා කළේ.
මා ආයෝජන මණ්‌ඩලයේ සභාපති ලෙසත් වර්ෂ කීපයක්‌ කටයුතු කළා. හොංකොං සහ ශැංහයි බැංකුවෙත් අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කළා. මහා බැංකුවේ අධිපති තනතුර ලැබීමටපෙර සේවය කළේ ඩුබායි පිහිටි ප්‍රධාන පෙළේ බැංකුවකයි.
මා මහ බැංකුවේ අධිපති ලෙස පත්වුණේ 2015. ජනවාරි 23 දා. පත්වීම් ලිපිය මට භාරදුන්නේ ජනාධිපති. එම තනතුරට පත්වූ පසුව මා මහා බැංකුවේ වෙනස්‌කම් රාශියක්‌ සිදුකළා. ඒ වන විට මහ බැංකුව විශාල වශයෙන් පාඩු ලබමින් තිබුණේ. ඉහළ තනතුරු රාශියක්‌ වෙනස්‌ කළා.
මහා බැංකුවේ අධිපති යනු ඉහළම විධායක නිලධාරියායි. මා මීට පෙර මහ බැංකුවේ සේවය කළ නිසා එහි අභ්‍යන්තර කටයුතු පිළිබඳව පුළුල් දැනීමක්‌ මට තිබුණා. සිදුකළ යුතු වෙනස්‌කම් ගැන මට හොඳ වැටහීමක්‌ තිබුණා.
මහා බැංකුවේ හිටපු අධිපතිවරුන් වන රාසපුත්‍රම් සහ ආචාර්ය නෙවිල් කරුණාතිලක යන මහත්වරු යටතේ මා සේවය කර තිබෙනවා. ඒ දෙදෙනාම මහා බැංකුවේ සෑම අංශයකට ගොස්‌ නිලධාරීන් සමඟ සුහදව සාකච්ඡා කළා. ඔවුන්ගේ අදහස්‌ විමසුවා.
මා නිලධාරීන් මාරු කිරීම් කළේ කිසියම් යටි අරමුණකින් නොවේ. මහ බැංකුවේ යහපතටයි. නිසියාකාරව මහ බැංකුවේ කටයුතු පවත්වා ගෙන යැමටයි. රටේ මූල්‍ය ස්‌ථාවරත්වයක්‌ පවත්වාගෙන යැම මගේ ප්‍රධාන අරමුණ වුණා.
මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙක්‌ නිතර මා හමුවීමට පැමිණියා.
මගේ අදහස වුණේ බැඳුම්කර වෙන්දේසි පැවැත්වීම රජයේ වියහියදම් සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට ගතයුතු සාර්ථක හා හොඳම මාර්ගය බවයි.
මහ බැංකු ව්‍යqහය ප්‍රතිසංවිධානයන් ක්‍රියාවලියේදී දෙපාර්තමේන්තුවල කටයුතු කොටස්‌ 03 කට බෙදා වෙන් කළා. මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන්ගේ මෙහෙයවීම යටතේයි සියලු කටයුතු සිදු වුණේ.
මහ බැංකුවේ අධිපති වශයෙන් මා පත්වන විට විශාල මුදලක්‌ ණය වී තිබුණා රජයේ වියහියදම් සඳහා එතරම් මුදලක්‌ තිබුණේ නැහැ.
මහාමාර්ග සංවර්ධන කටයුතු ඇතුළු ඒ වන විට ආරම්භ කර තිබූ සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීම සඳහා විශාල මුදලක්‌ අවශ්‍ය වී තිබුණා. එවකට සිටි මුදල් ඇමැති ඇතුළු ඇමැතිවරු කීප දෙනෙක්‌ මා හමුවීමට ඇවිත් රජයේ වියහියදම් සඳහා මුදල් සොයා ගත යුතු මාර්ග ගැන මා සමඟ සාකච්ඡා කළා. මාස දෙකක්‌ ඇතුළත රුපියල් බිලියන 175 ක්‌ සොයා ගත යුතුව තිබුණා.
2015 පෙබරවාරි 27 දා පැවැත්වූ බැඳුම්කර වෙන්දේසිය පවත්වන විට රජයට අවශ්‍ය මුදල් ගැන මාගේ අවධානය යොමු වී තිබුණා. ඒ වෙන්දේසියේදී රුපියල් බිලියන 20 ක ලංසු බැර කරන ලෙස මා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට යෝජනා කළා. නමුත් ඔවුන් භාරගත්තේ රුපියල් බිලියන 10.58 ක ලංසු. ඒ වෙන්දේසියේ ද රුපියල් බිලියන 01 ක්‌ වටිනා ලංසු බාර ගන්නා බවට පුවත්පත්වල දැන්වීම් පළකර තිබුණ. එසේ අඩු ගණනක ලංසු බාර ගන්නා බවට ප්‍රසිද්ධ කර ඊට වඩා වැඩි ප්‍රමාණයක්‌ ලංසු භාරගත් අවස්‌ථා තියෙනවා.
රුපියල් බිලියන 10.58 ක ලංසු භාරගැනීම මූල්‍ය මණ්‌ඩලය විසින් අනුමත කළා. එය මූල්‍ය මණ්‌ඩලය ගත් තීරණයක්‌. ඒ තීරණය පසුව මට දැනුම් දුන්නා. මාත් එය අනුමත කළා. එය මගේ තනි කැමැත්තට හෝ බලපෑම පිට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ගත් තීරණයක්‌ නොවෙයි.
එදා 2015 පෙබරවාරි 27 දා බැඳුම්කර වෙන්දේසිය පැවැත් වූ ස්‌ථානයට මා දෙවතාවක්‌ ගිය නමුත් මා කිසිම බලපෑමක්‌ කළේ නැහැ.
ජ.නී. ද සිල්වා – මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව අයිති වුණේ කුමන අංශයට ද?
සාක්‌ෂිකරු – මිල ස්‌ථායිතා අංශයට (ක්‌ලස්‌ටර් එකට) තමයි එය අයත් වුණේ.
ජ.නී. ද සිල්වා – ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුව?
සාක්‌ෂිකරු – එම අංශයටමයි
ජ.නී. ද සිල්වා – දේශීය මෙහෙයුම් දෙපාර්තමේන්තුව
සාක්‌ෂිකරු – එයත් අයත් වුණේ මිල ස්‌ථායිතා ක්‌ලස්‌ටර් එකටමයි.
කොමිසමේ සභාපති කේ. ටී. චිත්‍රසිරි මහතා – රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව?
සාක්‌ෂිකරු – එය මූල්‍ය නියාමන අංශයට
ජ.නී. ද සිල්වා – අනිත් අංශය (ක්‌ලස්‌ටර් එක) ධාරිතා සංවර්ධන අංශය
සාක්‌ෂිකරු – ඔව්
ජ.නී. ද සිල්වා – ප්‍රතිපත්ති උපදේශන අංශය භාර නියෝජ්‍ය අධිපති කවුද?
ආචාර්ය වීරසිංහ ස්‌වාමිනී.
ජ.නී. ද සිල්වා – මූල්‍ය නියාමන සහ සංවර්ධන අංශය භාරව සිටි නියෝජ්‍ය අධිපති කවුද?
සාක්‌ෂිකරු – සමරසිරි මහතා
ජ.නී. ද සිල්වා – ධාරිතා සංවර්ධන අංශය භාරව සිටි නියෝජ්‍ය අධිපති කවුද?
සාක්‌ෂිකරු – ආනන්ද සිල්වා මහතා
ජ.නී. ද සිල්වා – ඔබේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ඔබ මහ බැංකුවේ වෙනත් නිලධාරීන් මාරු කළා
සාක්‌ෂිකරු – ඔව් ස්‌වාමිනී. සහකාර අධිපතිවරුන්ගේ විෂයන් අපි නැවත ප්‍රතිසංවිධානය කර බෙදා දුන්නා. ඒ අනුව දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද ඒ අනුව ප්‍රතිසංවිධානයට ලක්‌ කළා.
ජ.නී. ද සිල්වා – මේ මාරු කිරීම් කළේ ඔබ සිදුකළ ප්‍රතිසංවිධානයට අනුවයි.
සාක්‌ෂිකරු – ඔව් ස්‌වාමිනි
ජ.නී. ද සිල්වා – සමහර නිලධාරීන් යම් ස්‌ථානයක සිටිය යුතු වසර ගණනක්‌ ගැන සඳහන් වුණා. එය නියෝජ්‍ය අධිපතිවරු සම්බන්ධයෙන් අදාළ වුණාද?
සාක්‌ෂිකරු – නෑ. එය නියෝජ්‍ය අධිපතිවරුන්ට අදාළ වූයේ නැහැ.
ජ.නී. ද සිල්වා – දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අදාළ වුණාද?
සාක්‍ෂිකරු – නෑ ස්‌වාමිනී.
ජ.නී. ද සිල්වා – එය අදාළ වූයේ ඊට පහළින් සිටි නිලධාරීන්ටයි.
සාක්‍ෂිකරු – ඒක හරි.
ජ.නී. ද සිල්වා – මොකක්‌ද ඒ නියමය?
සාක්‍ෂිකරු – දෙපාර්තමේන්තු ප්‍රධානියාට පහළින් ඉන්න අය එක දෙපාර්තමේන්තුවක වසර පහකට වඩා සේවය නොකළ යුතුයි කියන එකයි.
ජ.නී. ද සිල්වා – ඒ අනුව ඔවුන් මාරු කිරීමට ලක්‌ වෙනවා.
සාක්‍ෂිකරු – ඔව්.
ජ.නී. ද සිල්වා – ඔබ මහ බැංකුවේ අධිපති ලෙස පත්වූ පසු එහි නිලධාරීන් සිටියා මේ වසර පහක සේවා කාලය සම්පූර්ණ කළ?
සාක්‍ෂිකරු – ඔව්.
ජ.නී. ද සිල්වා – ඔබ ඒ අය මාරු කළා.
සාක්‍ෂිකරු – ඒක හරි.
ජ.නී. ද සිල්වා – ඔබ එම වසර 5 ක සේවා කාලයේ නියමය වසර 3 දක්‌වා අඩු කළාද?
සාක්‍ෂිකරු – ඔව්. එය මුදල් මණ්‌ඩලය අනුමත කළා.
සභාපති – එම වසර ගණන අඩු කරන්න මුදල් මණ්‌ඩලය තීරණය කළාද?
සාක්‍ෂිකරු – ඔව් ස්‌වාමිනී.
ජ.නී. ද සිල්වා – මේ මාරු කිරීම් කළේ ඔවුන් වැරැදි ක්‍රියාවන් සිදු කළ නිසාද?
සාක්‍ෂිකරු – නැහැ. බැංකුව ප්‍රතිසංවිධානය කළ යුතු වූ නිසා. බැංකුවේ මෙහෙයුම් කටයුතු වඩාත් ඵලදායී තත්ත්වයකට පත්කළ යුතු වූ නිසා. මහ බැංකුව වාර්තා කළ විශාල අලාභයන් වළක්‌වාගත යුතු වූ නිසා.
ජ.නී. ද සිල්වා – මේ ප්‍රතිසංවිධානය කිරීමේදී මහ බැංකුවට වෙනම නීති දෙපාර්තමේන්තුවක්‌ තිබුණාද?
සාක්‍ෂිකරු – නැහැ ස්‌වාමිනී.
ජ.නී. ද සිල්වා – කවුද නීති කටයුතු ගැන මහ බැංකුවට උපදෙස්‌ දුන්නේ?
සාක්‍ෂිකරු – ඒ සඳහා රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිටියා. ඔවුන් මහ බැංකුවට නීති උපදෙස්‌ දුන්නා.
ජ.නී. ද සිල්වා – ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සිටියා රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ?
සාක්‍ෂිකරු – ඔව් ස්‌වාමිනී.
ජ.නී. ද සිල්වා – ඔවුන්ට මහ බැංකුවෙන් ගෙවීම් කළා?
සාක්‍ෂිකරු – ඔව්.
ජ.නී. ද සිල්වා – කොපමණ කාලයකට සැරයක්‌ද ඔවුන් මහ බැංකුවට එන්නේ?
සාක්‍ෂිකරු – මම ඔවුන් සමඟ කෙළින්ම සම්බන්ධ වූයේ නැහැ. එහෙත් සතියකට තුන් හතර සැරයක්‌ අඩු වශයෙන් ඔවුන් පැමිණෙන බව මම දැන සිටියා.
ජ.නී. ද සිල්වා – මේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැන රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොනවත් කිව්වද?
සාක්‍ෂිකරු – නෑ ස්‌වාමිනී. මම අධිපති වූ පසු මම එම නිලධාරීන් දෙදෙනකු සමඟ කතා කළා වෙන වෙනම. මම බැංකුව ප්‍රතිසංවිධානය කිරීමට අදහස්‌ කර සිටින බව ඔවුන්ට කීවා. ඒ වගේම වෙනම නීති දෙපාර්තමේන්තුවක්‌ ස්‌ථාපිත කිරීමට යන බවත් ඔවුන්ට කීවා.
ජ.නී. ද සිල්වා – ඔවුන්ගෙන් කිසිවෙක්‌ හෝ බැංකුවේ සිදු කරන මාරු කිරීම් වැරැදියි හෝ ඒවා සුදුසු නැති බවක්‌ කීවාද?
සාක්‍ෂිකරු – කිසි විටෙක නැහැ ස්‌වාමිනී.
ජ.නී. ද සිල්වා – ඒ ප්‍රතිසංවිධානය පටන් ගත්තේ 2015 ජනවාරි 23 දිනෙන් පසුවයි.
සාක්‍ෂිකරු – ඔව් ස්‌වාමිනී.
ජ.නී. ද සිල්වා – ඔබ අධිපති වූ පසු පැවැත්වූ පළමු බැඳුම්කර වෙන්දේසිය පැවැතියේ 2015.02.27 දිනයි. එය දැන් මේ කොමිසමේ විමර්ශනයට ලක්‌ව තිබෙනවා?
සාක්‍ෂිකරු – ඔව්.
ජ.නී. ද සිල්වා- එම වෙන්දේසියට පෙර මාර්තු 02 දිනට යම් අරමුදල් අවශ්‍යතාවක්‌ පැවැති බව දැනුම් දී තිබුණාද?
සාක්‍ෂිකරු – ඔව්.
ජ.නී. ද සිල්වා – ඒ කොපමණ මුදලක්‌ද?
සාක්‍ෂිකරු – මම හිතන්නේ ඒ මුදල රු. බිලියන 13.55 ක්‌.
ජ.නී. ද සිල්වා – ඒ මුදල මාර්තු 02 වැනි සඳුදා වන විට අවශ්‍ය වී තිබුණා.
සාක්‍ෂිකරු – ඔව්.
ජ.නී. ද සිල්වා – ඒ මුදල අවශ්‍ය බව ඔබට දැනුම් දුන්නේ කවදාද?
සාක්‍ෂිකරු – මට මතක විදිහට මහා භාණ්‌ඩාගාර ලේකම් මට දුරකථන ඇමතුමක්‌ දුන්නා මේ මුදල අවශ්‍ය බව.
ජ.නී. ද සිල්වා – දළ වශයෙන් 2015 පෙබරවාරි 23 දින හෝ ඊට පසු ඔබට දැනුම් දුන්නා මේ රු. බිලියන
13.55 ක මුදල මාර්තු 02 දින වන විට අවශ්‍ය බව?
සාක්‍ෂිකරු – ඔව් ස්‌වාමිනී.
ජ.නී. ද සිල්වා – ඇමැතිවරු සමඟ මහ බැංකුවේ සාකච්ඡාවක්‌ තිබුණාද?
සාක්‍ෂිකරු – 2015 පෙබරවාරි 26 දින උදේ තිබුණා.
ජ.නී. ද සිල්වා – කවුද ඒකට සහභාගි වුණේ?
සාක්‍ෂිකරු – ගරු මුදල් ඇමැතිතුමා සහභාගි වුණා. මහාමාර්ග ඇමැති සහ අගමැතිතුමාගේ උපදේශක සහභාගි වුණා.
ජ.නී. ද සිල්වා – ඒ සාකච්ඡාව හිටපු මුදල් ඇමැතිතුමා තහවුරු කළා නේද?
සාක්‍ෂිකරු – ඔව්.
මේ අවස්‌ථාවේදී හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ අත්සනින් දිනයක්‌ රහිතව කොමිසමට ඉදිරිපත් කර තිබූ ඒ එම් 22 ලෙස සලකුණු කර තිබූ ලිපියක්‌ සාක්‍ෂිකරුගේ අවධානයට ලක්‌ කරයි.
ජ.නී. ද සිල්වා – මේ ලිපියෙන් හිටපු මුදල් ඇමැති සහ වෙනත් ඇමැතිවරු එනම් කබීර් හෂීම් සහ මලික්‌ සමරවික්‍රම යන මහත්වරු 2015.02.26 දින මහ බැංකුවේදී හමු වී තිබෙන බව සඳහන් කරලා තිබෙනවා. එය හරිද?
සාක්‍ෂිකරු – ඔව් එය හරි
ජ.නී. ද සිල්වා – මසක්‌ තුළ රු. බිලියන 75 ක්‌ හදිසි මහා මාර්ග සංවර්ධන අවශ්‍යතාවලට අවශ්‍ය බව එම රැස්‌වීමේදී එම ඇමැතිවරු ඔබගෙන් ඉල්ලා සිටියා?
සාක්‍ෂිකරු – ඔව් ඒක හරි.
ජ. නී. ද සිල්වා – මේ ලිපිය ඔබ අතට පත් වුණේ කොහොමද?
සාක්‍ෂිකරු – දෙවෙනි කෝප් පරීක්‍ෂණයට මුහුණ දීම සඳහා සහාය දෙන්න තමයි හිටපු මුදල් ඇමැතිතුමා මේ ලිපිය මට ලබා දුන්නේ. මාව 2016 ජුනි 06 හෝ 07 දින කෝප් කමිටුවට කැඳවා තිබුණා. ඒ රැස්‌වීමට පෙර මේ ලිපිය මට දෙන්න කියලා මම හිටපු මුදල් ඇමැතිගෙන් ඉල්ලා සිටියා.
ජ.නී. ද සිල්වා – මේ බැඳුම්කර වෙන්දේසිය තිබුණෙ 2015.02.27 දින?
සාක්‍ෂිකරු – ඔව්
ජ. නී. ද සිල්වා – 2015.02.26 දින තමයි මේ රැස්‌වීම රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු තිදෙනෙක්‌ සමඟ තිබුණේ.
සාක්‍ෂිකරු – ඇමැතිවරු දෙදෙනෙක්‌ සහ එක උපදේශකයෙක්‌.
ජ.නී. ද සිල්වා – හිටපු මුදල් ඇමැතිතුමාත් මෙයට ඇතුළත් වුණා.
සාක්‍ෂිකරු – ඔව් ස්‌වාමිනී
ජ. නී. ද සිල්වා – මසක්‌ තුළ මේ මුදල අවශ්‍ය බව කීවා?
සාක්‍ෂිකරු – ඔව්
ජ. නී. ද සිල්වා – මේ පසුබිම තුළ තමයි 2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පැවැතියේ?
සාක්‍ෂිකරු – ඔව් ස්‌වාමිනී
ජ. නී. ද සිල්වා – මාර්තු මාසයේදී රු බිලියන 75 ක අරමුදල් අවශ්‍යතාවක්‌ පැවැති පසුබිමක තමයි මේ වෙන්දේසිය පැවැතියේ?
සාක්‍ෂිකරු – ඔව් ස්‌වාමිනී
ජ. නී. ද සිල්වා – එය වැදගත් සාක්‍ෂියක්‌
සාක්‍ෂිකරු – ඔව් ස්‌වාමිනී
වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුලද ලිවේරා මහතා – කටට උත්තර දී ප්‍රශ්න අසන්න එපා
සභාපති – (ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අමතමින්)
එසේ කරන්න එපා
දප්පුල ද ලිවේරා මහතා – මේ වගේ තීරණාත්මක කරුණු ගැන කටට උත්තරදී ප්‍රශ්න අසන්න එපා කියල මම ඉල්ලනවා?
සභාපති – එහෙම ප්‍රශ්න අසන්න එපා
ජ. නී. ද සිල්වා – හරි හරි ලිවේරා මහත්තය ඒ ගැන ප්‍රශ්නයක්‌ නැහැ. මට ඒ ගැන කාරුණිකව පෙන්වල දෙන්න. හරි දැන් ඔබට (අර්ජුන මහේන්ද්‍රන් මහතා අමතමින්) මේ ලිපිය ලැබුණා
සාක්‍ෂිකරු – ඔව් ස්‌වාමිනී
ජ. නී. ද සිල්වා – එවැනි රැස්‌වීමක්‌ පැවැති බවත් එහිදී එම මුදල් අවශ්‍යතාව පැවැති බවත් මේ ලිපියේ සඳහන් වෙනවා?
සාක්‍ෂිකරු – ඔව්
ජ. නී. ද සිල්වා – මාර්තු මාසේදී මුදල් අවශ්‍යතාවක්‌ පැවැති බව ඔබ දැන සිටියාද?
සාක්‍ෂිකරු – ඔව්. භාණ්‌ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව අරමුදල් ප්‍රවාහ ප්‍රකාශයක්‌ එවනවා. මට මතක විදිහට එය රු. බිලියන 172 ක්‌. ඒක සිංහල මුදලක්‌. මම හිතුවා අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීම නිසා ඒ මුදල අවශ්‍ය වෙන්න ඇති කියලා. රු බිලියන 172 ක්‌ කියන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 කට ආසන්න මුදලක්‌ එය ඉතා කෙටි කලක්‌ තුළ අවශ්‍ය වී තිබුණා. මම එම මුදල් අවශ්‍යතාව ගැන දැන සිටියා. ඒ අවස්‌ථාව වන විට භාණ්‌ඩාගාරයේ අරමුදල් අවශ්‍යතාවට සරිලන අරමුදල් රැස්‌කිරීමක්‌ මහ බැංකුව කර තිබුණේ නැහැ. මහා භාණ්‌ඩාගාර ලේකම් මට වාචිකව දැනුම් දුන්නේ ජනවාරි මාසයේ මහ බැංකුව විසින් එකතු කර දුන් මුදල්වල සැළකිය යුතු අඩුවක්‌ තිබුණු බවයි. රු. බිලියන ගණනක මුදල් අඩුවක්‌ තිබුණා. එනම් මහා භාණ්‌ඩාගාරයේ අරමුදල් අවශ්‍යතාව සපුරා දීමට මහ බැංකුවට හැකි වී නොතිබුණු බවයි. ඒ එතන පැහැදිලිවම ප්‍රශ්නයක්‌ තිබුණා. මහ බැංකුවේ අරමුදල් රැස්‌ කිරීමේ හැකියාව ගැන. මේ පසුබිම තුළ මාර්තු මාසයට ලොකු අරමුදල් අවශ්‍යතාවක්‌ තිබුණු නිසා මම ඒ ගැන වඩාත් සැලකිලිමත් වුණා.
පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගේ සාක්‍ෂිය ඊයේ (19 දා) අවසන් විය. එසේම එම සමාගම වෙනුවෙන් තවදුරටත් කොමිසම හමුවේ පෙනී නොසිටින බව ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කීවේය.
-දිවයින-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *