ඇලෝෂියස්‌ගේ උපදෙස් මත බැඳුම්කර කොල්ලයේ මිලියන 920ක් වෙනත් සමාගම් 3කට

මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් උපයා ගත් රුපියල් මිලියන 920ක් අර්ජුන් ඇලෝෂියස්‌ගේ උපදෙස් මත පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් වෙනත් සමාගම් තුනකට මාරු කර ඇති බව ඊයේ(11) කොමිසම හමුවේ අනාවරණය විය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් වර්ෂ 2015 ජනවාරි 01 දින සිට වර්ෂ 2016 සැප්තැම්බර් 30 දක්‌වා කාලයේදී රු. මිලියන 920 ක ලාභයක්‌ තම සමාගම් සමූහයේ වෙනත් සමාගම් තුනකට මාරුකර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ඊයේ ජනාධිපති බැඳුම්කර කොමිසමේදී කීවේය.
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගම, පර්පෙචුවල් ඇසට්‌ මැනේඡ්මන්ට්‌ සමාගම සහ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස්‌ සමාගම යන සමාගම් තුනට මෙසේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ලාභ මාරු කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා කීවේය.
මෙසේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ලාභ බැඳුම්කර ගනුදෙනු සිදුකිරීම හරහා එම සමාගම් සමුහයේම වෙනත් සමාගම්වලට මාරු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාගෙන් සාක්‌ෂි විමසමිනි.
මීට ප්‍රතිචාර දක්‌වමින් පලිසේන මහතා කීවේ අදාළ බැඳුම්කර ගනුදෙනු හරහා එම සමාගම් (ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගම, පර්පෙචුවල් ඇසට්‌ මැනේඡ්මන්ට්‌ සමාගම සහ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස්‌ සමාගම) වෙළෙඳ ලාභයක්‌ ලබා ගෙන ඇති බවත් එසේම පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ඒ අනුව වෙළෙඳ අලාභයක්‌ ලබාගෙන ඇති බවත්ය.
කොමිසමේ සාමාජික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කසුන් පලිසේන මහතා මේ බව කීවේය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම බැඳුම්කර ගනුදෙනු හරහා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමට රු. මිලියන 177.4 ක ලාභයක්‌ද, පර්පෙචුවල් ඇසට්‌ මැනේඡ්මන්ට්‌ සමාගමට රු. මිලියන 354.4 ක ලාභයක්‌ සහ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස්‌ සමාගමට රු. මිලියන 388.4 ක ලාභයක්‌ද වශයෙන් රු. මිලියන 920 කට අධික මුළු ලාභයක්‌ මාරු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කසුන් පලිසේන මහතාට යෝජනා කළේය.
එම ගනුදෙනුවලින් අදාළ සමාගම් වෙළෙඳ ලාභ උපයා ගැනීමට සමත් වී ඇති බවද එම ගනුදෙනු වෙළෙඳපොළට වාර්තා නොකළ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කසුන් පලිසේන මහතා පිළිගත්තේය.
මේ බැඳුම්කර ගනුදෙනු කළේ වෙළෙඳපොළ ඵලදා අනුපාතවලටද එසේත් නැතහොත් විශේෂ අනුපාතයකටද යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පලිසේaaන මහතා කීවේ ඒ සඳහා ඩීල් ටිකට්‌ පරීක්‌ෂා කළ යුතු බවයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සහ එම සමාගම් සමුහයේ වෙනත් සමාගම් තුනක්‌ අතර එම ගනුදෙනු සිදු වූ ආකාරය උදාහරණ දක්‌වමින් කසුන් පලිසේන මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමේ මූලික ව්‍යාපාර කටයුත්ත බැඳුම්කර ගනුදෙනු සිදුකිරීම නොව මත්පැන් නිෂ්පාදනය කිරීම බවද පලිසේන මහතා කොමිසම හමුවේ පිsළිගත්තේය.
මේ ගනුදෙනු සිදුකිරීම සඳහා වරින්වර අර්ජුන් ඇලෝෂියස්‌ මහතාගෙන් උපදෙස්‌ ලැබී තිබෙනවා නේදැයි මිලින්ද ගුණතිලක මහතා ඇසූ ප්‍රශ්නයට පලිසේන මහතා “ඔව්” යනුවෙන් පිළිතුරු දුන්නේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *