‘බ්‍රික්ස්’ වඩා දීප්තිමත් අනාගතයක් උදෙසා ශක්තිමත් හවුලක්

වඩා දීප්තිමත් අනාගතයක් උදෙසා ශක්තිමත් හවුලක් යන තේමාවෙන් යුතුව 09 වැනි බ්‍රික්ස් BRICS සමුළුව චීනයේ ෆුජියෑන් පළාතේ ෂියාමෙන්හිදී පැවැත්විණි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් බ්‍රික්ස් හවුලේ සාමාජිකත්වය දරයි. සමුළුවේ සත්කාරකත්වය දරන චීනය මෙවර එහි සභාපතිත්වය උසුලයි. මූලික වශයෙන් ආර්ථිකය තේමා කොට ගනිමින් ෂියාමෙන් සමුළුවේ න්‍යාය පත්‍රය පිළියෙල වී තිබිණි. සාමාජික රටවල් ප‍හේ රාජ්‍ය නායක‍යෝ ඊට සහභාගී වී සිටියහ.
ආර්ථික වෙළෙඳාම සහ සහයෝගිතාවට අමතරව ත්‍රස්තවාදය ද මෙවර සමුළුවේ වැඩි අවධානය යොමු වූ මාතෘකා අතර විය. සමුළුවට සමගාමීව විශේෂයෙන් චීනය සහ ඉන්දියාව, රුසියාව සහ ඉන්දියාව මෙන්ම ‍සෙසු රටවල් අතරද පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා සම්බන්ධයෙන්ද විදෙස් මාධ්‍යවල මෙන්ම දේශපාලන විශ්ලේෂකයන්ගේද අවධානය යොමුව තිබේ.
බ්‍රික්ස් රටවල් අතර වෙළෙඳ හා ආර්ථික සබඳතා නැංවීම ඇතුළු කාරණා අරමුණු කරමින් ලේඛන 4කට අත්සන් තැබීමද සිදුවිය. මේ යටතේ ආර්ථික හා වෙළෙඳ සහයෝගිතාව, නවෝත්පාදන සම්බන්ධයෙන් සහයෝගිතාවක් පවත්වාගැනීම (2017 – 2020), තීරු බදු සහයෝගිතාව අරඹයා උපාය මාර්ගික රාමුවක් මත ක්‍රියාකිරීම සහ බ්‍රික්ස් ව්‍යාපාර කවුන්සිලය සහ උපාය මාර්ගික සහයෝගිතාව උදෙසා වන නව සංවර්ධන බැංකුව අතර අව‍බෝධතාවකින් ක්‍රියාකිරීම යන කාරණා දැක්වේ.
සමුළුව ආරම්භයේදීම මෙවර එහි සභාපතිත්වය ඉසිලූ චීන ජනාධිපති ෂී ජිග් පිංග්, ලෝක ආර්ථිකයේ විවෘත බව මෙන්ම වෙළෙඳාමේ ලිබරල්කරණය තවදුරටත් දිරිගැන්වීම ගැන එහි අවධානය යොමුකළේය. අ‍මෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “පළමුව අමෙරිකාව” න්‍යාය පත්‍රයට එරෙහිව බ්‍රික්ස් හවුල තම ආධිපත්‍ය ව්‍යාප්ත කරනු ඇති බවට මේ සමඟ ඉඟි පළ‍වේ. සමුළුවේ නිරීක්ෂකයන් ලෙස ‍මෙවර සහභාගිවූ තායිලන්තය, ‍මෙක්සිකෝව, ඊජිප්තුව, ගිනියාව සහ කිරිකිස්ථානය යන රටවල්ද ඇතුළත්වන පරිදි ‘බ්‍රික්ස් ප්ලස්’ යනුවෙන් බ්‍රික්ස් හවුල තවදුරටත් පුළුල් වීමට ඇති හැකියාව ද පෙනෙන්නට තිබේ.

ආර්ථික පිළිවෙත

ලෝක ආර්ථිකය වඩ වඩාත් විවෘත කරන අතර නව ගෝලීය වටිනාකම් දාමයක් ඇතිකිරීම සහ ගෝලීය ආර්ථිකය යළි සංතුලනය කිරීමේ අවශ්‍යතාවද චීන ජනාධිපතිවරයා මතුකර තිබිණි. එහිදී තමා තවමත් බ්‍රික්ස් රටවල් මත පූර්ණ විශ්වාසය තබා සිටින බවද ඔහු පවසා ඇත. සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සම්බන්ධයෙන්ද මෙහිදී ෂී ජිංග් පිංග්ගේ අවධානය යොමුවිය.
ඉකුත් ජූලි මස පැවැති විසිදෙනාගේ කණ්ඩායම ‍හෙවත් ජී – 20 සමුළුවේදී ද ස්විට්සර්ලන්තයේ ද වෝස්හිදී ඉකුත් ජනවාරියේ පැවැති ලෝක ආර්ථික සංසදයේදී ද ලෝක ආර්ථිකයේ විවෘතභාවය ඉදිරියට ගෙනයාම සහ ශක්තිමත් කිරීම ගැන චීන ජනාධිපතිවරයා මතුකළේය. මෙවර බ්‍රික්ස් සමුළුවේදී සිය විනාඩි 45ක දේශනය ඔහු හමාර කළේ චීන සමාගම්වලට ලෝකයේ නොයෙක් රටවල ආයෝජනය කිරීමට චීන රජය දිරිගන්වන බව පවසමින් මෙන්ම ලොව දෙවැනි ආර්ථික බලවතා වන චීනයේ ආයෝජන සිදුකිරීමට යොමුවන ලෙසට ආරාධනා කරමිනි.
ෂියාමෙන්, බ්‍රික්ස් සමුළුව පැවැත්වූණේ චීන සහ ඉන්දීය භට පිරිස් අතර දෙමසකට වැඩි කලක් තිස්සේ හිමාලයානු ‍දේශසීමාව ආශ්‍රිතව පැවැති උණුසුම් වාතාවරණය පහවී ගොස් සතියක් ගත වනවිටය. එබැවින් චීන ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති මෝදි අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා කෙරෙහි බොහෝදෙනාගේ අවධානය යොමු විය. එම සාකච්ඡා සතුටුදායක මෙන්ම ප්‍රතිඵලදායකද වූ බව වාර්තා විණි.
දෙරට අතර ස්ථාවර මෙන්ම මනා සබඳතාවක් පවත්වා ගැනීමේ වැදගත්කම චීන ජනාධිපතිවරයා මෙම හමුවේදී ඉන්දීය අගමැතිවරයාට පෙන්වා දී ඇත. මෙය ඔවුන් අතර සිදුවූ පළමු ද්විපාර්ශ්වික හමුව වීමද විශේෂයකි. එහි ප්‍රතිඵල ඉන්දියාවට සමුළුව අවසන්වනවිටම දැකගත හැකිවිය. පළමුවතාවට, පාකිස්තානය කේන්ද්‍රකොටගත් ලප්කාර් ඉ – තයිබා, ජයිෂ් – ඉ – මොහොම්මද් සහ හඛානි සංවිධාන ත්‍රස්තවාදී සංචිතය ලෙස පිළිගෙන ප්‍රකාශයට පත්කිරීම එයයි. මෙවර සමුළුවේදී සිදුවූ එක් වැදගත් කාරණයක් ලෙස මෙය විචාරකයන් විසින් ද දක්වා ඇත. ආරක්ෂක ක්ෂේත්‍රයේදී දෙරට අතර සමීප සබඳතාවක් පවත්වාගැනීම කෙරෙහි අවධානය යොමුවී තිබේ. කෙසේ වුවද ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ත්‍රස්තවාදය මාතෘකාවක් ‍නොවූ බව ප්‍රකාශ විය. සාකච්ඡාවට ලක්වූ කාරණා බ්‍රික්ස් න්‍යාය පත්‍රයට අදාළ බව පැවැසිනි. අතිශය සාර්ථක සමුළුවක් පැවැත්වීම ගැන ඉන්දීය අගමැතිවරයා චීන ජනාධිපතිවරයාට සිය ප්‍රශංසාවද පුද කර තිබිණි.
චීනයේ මූලිකත්වයෙන් ආසියානු රටවල යටිතල පහසුකම් නැංවීම අරඹයා ඇතිකළ නව ආයෝජන බැංකුව කෙරෙහිද විචාරකයන්ගේ අවධානය යොමුව ඇත. 2015 දී මේ බැංකුව ස්ථාපිත කෙරුණේ ලෝක බැංකුවට විකල්පයක් වශයෙනි. සාමාජික රටවල් අතර යටිතල පහසුකම් නැංවීම අරඹයා වන අරමුදල් සම්පාදනයේදී දක්නට ඇති බරපතළ පරතරය නැතිනම් විසමතාව පියවීම ද එම නව බැංකුවේ අරමුණකි. ලෝක ජනගහනයෙන් හරි අඩක් පමණ නියෝජනය කරන්නේ බ්‍රික්ස් රටවල්ය. එහෙත් ගෝලීය ආර්ථිකයේ ප්‍රතිලාභ බෙදී යාමේදී ඔවුන්ට හිමිවන්නේ 1/5ක් පමණි.

මෝදිගේ කතාව

ඉන්දීය අගමැතිවරයා සමුළුව අමතා කළ කතාවේදී ද දිළින්දන්ගෙන් දිළින්දන් ප්‍රධාන මූල්‍යමය ධාරාවට ඇතුළත් කර ගැනීම කෙරෙහි අවධානය යොමුවිය. ඊට අම තරව ත්‍රස්තවාදය පිටුදැකීම, සයිබර් ආරක්ෂාව, ආපදා කළමනාකරණය,දේශගුණ විපර්යාස වැනි මාතෘකාවලටද අගමැති මෝදි අවධානය යොමුකර තිබිණි.
චීන ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා ද විශේෂය. සමුළුවෙන් අනතුරුව රුසියානු මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපති පුටින් අවධාරණය කළේ බ්‍රික්ස් හවුලට විශිෂ්ට අනාගතයක් ඇති බවට විවාදයක් නැතැයි යනුවෙනි.
ගෝලීය ආර්ථිකය වඩා සාධාරණ ලෙස හා උදාර ලෙස මෙහෙය වීමේ අවශ්‍යතාව ජනාධිපති පුටින් ද ‍පෙන්වා දී ඇත. ඒ අනුව වත්මන් ලෝක ආර්ථික රටාව අසමබර බව මෙන්ම අසාධාරණ බව ඔහු ද පිළිගනී. නව සංවර්ධන බැංකුව හරහා දියත් කර ඇති ව්‍යාපෘතිවලට රුසියාව දායකත්වය ලබාදී තිබෙන බවද මෙහිදී ජනාධිපති පුටින් පෙන්වා දී තිබිණි. ඔහු සඳහන් කරන පරිදි ද ෂියාමෙන් සමුළුව සාර්ථකය. ජනාධිපති පුටින් සහ ඉන්දීය අගමැතිවරයා අතරද, දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා අතරද ද්විපාර්ශ්වික සාකච්ඡා සිදුවී ඇත.

උතුරු කොරියා ප්‍රශ්නය

උතුරු කොරියාවේ මිසයිල අත්හදාබැලීම් ගැන ද බ්‍රික්ස් නායකයන්ගේ අවධානය යොමු වූ බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ. රුසියානු ජනාධිපතිවරයා සහ ජපාන අගමැතිවරයා අතරද දකුණු කොරියා ජනාධිපතිවරයා අතර දුරකථන සංවාද සිදුවී ඇත. උතුරු කොරියානු න්‍යෂ්ටික අර්බුදය රාජ්‍යතාන්ත්‍රිකවම විසඳාගත යුතු බව රුසියාවේ ස්ථාවරයයි. මේ ප්‍රශ්නය හා සබැඳි මානුෂීය කාරණා ගැනද අවධානය යොමුවිය යුතු බව රුසියා‍වේ මතය වී තිබේ.
ෂියාමෙන් බ්‍රික්ස් සමුළුව අවසන නිකුත්වූ ෂියාමෙන් ප්‍රකාශනය පිටු 43 කින් සමන්විතය. එහි ත්‍රස්තවාදය පිළිබඳ අවස්ථා 17ක දීම අවධානය යොමුකර ඇත. එමඟි න් ලොව පුරා සිදුවන සෑම ආකාරයකම ත්‍රස්තවාදී ප්‍රහාර හෙළා දැක තිබේ. කලාපීය වශයෙන් තම රටවල ආරක්ෂාව ගැන විශේෂ අවධානයක් යොමු කරන බව එහි දැක්වෙන අතර පාකිස්තානයේ සිට ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධාන ත්‍රස්තවාදී සංවිධාන වශයෙන් නම් කර සලකන්නේ ඒ යටතේ බවද සඳහන්ය. ඉකුත් වසරේ පැවැති බ්‍රික්ස් සමුළුව අවසන නිකුත් වූ ප්‍රකාශනයේද ත්‍රස්තවාදය පිළිබඳ අවධානය යොමුව ඇතත් ත්‍රස්තවාදී සංවිධාන අතරින් එහි නම් සඳහන්ව තිබුණේ අයි. එස්. ගැන පමණි. එනම් මෙවර එය ඊටත් වඩා ඉදිරියට ගොස් තිබේ. බ්‍රික්ස් ප්‍රකාශනයක ත්‍රස්තවාදී සංවිධාන ලෙස මෙවර විශේෂයෙන් නම් කිරීමක් සිදුව ඇත්තේ පළමුවතාවටය. එම සංවිධාන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මඟින්ද ත්‍රස්තවාදී සංවිධාන ලෙස පිළිගෙන ඇත.

ප්‍රතිවාදීන්ගේ සහයෝගීතාවය

සමස්තයක් ලෙස ෂියාමෙන් ප්‍රකාශනය මඟින් සාමය, ආරක්ෂාව, සංවර්ධනය හා සහයෝගිතාව අරමුණු කෙරී තිබේ. බ්‍රික්ස් හවුලේ රටවල් අතර ආර්ථික බලවතුන් වන්නේ චීනය හා ඉන්දියාවය. එමෙන්ම මේ දෙරට එහි වඩා තීරණාත්මක සාමාජික‍යෝ වෙති. තරගකාරී‍ ලෝක ආර්ථිකයේදී මේ දෙරට ප්‍රතිවාදීන්ය. එසේ වුවද මෙවර බ්‍රික්ස් සමුළුවට සමගාමීව ඔවුන් අතර යම් සමීප සහයෝගිතාවක් වර්ධනය වන ලකුණු ද දැකගත හැකිය.
බොහෝ කලාපීය හා අන්තර්ජාතික සමුළුවලදී සාකච්ඡාවට ලක්වන, ඒවායේ න්‍යාය පත්‍රයන්ට ඇතුළත්වන කාරණා අවශ්‍යයෙන් ම සංවාදයට ලක්විය යුතු ඒවාය. එහෙත්, යථාර්ථය වන්නේ ඒවා හුදෙක් සංවාද තලයටම සීමාවීමය. ඒනයින් බලන කල ෂියා‍මෙන් හිදී නිමාව දුටු 09 වැනි බ්‍රික්ස් සමුළුව ඉන් ඔබ්බට පියවර කිහිපයක් තබා ඇති අයුරු. පෙනෙන්නට තිබේ. ලෝක ආර්ථිකයේ දිශානතිය තීරණය කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ බටහිරට ඇති බලය බ්‍රික්ස් හවුල විසින් වැඩිකල් නොගොස් බිඳ දමනු ඇති බවට මෙවර සමුළුව පෙන්නුම් කර ඇත.
-ධම්මික සෙනෙවිරත්න-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *