ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන පළමු පෙළ ප්‍රිමියර් ටියර් ‘බී’ ක්‍රිකට් තරගාවලියේ පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර කායවර්ධන කවය ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයකදී සිදුවූ තරග පාවාදීමේ සිද්ධිය එම කණ්‌ඩායම් දෙකේම නායකයන් දෙදෙනාට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට ක්‍රිකට් විධායකය තීරණය කර තිබේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට පටහැනිව සහ විෂමාචාර ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනා වැරදිකරුවන් බවට පත්කර තිබේ. එමෙන්ම කණ්‌ඩායම් දෙකේ පුහුණුකරුවන් සහ අනිකුත් ක්‍රීඩකයන්ටද වසරක තහනමක් පනවා ඇති අතර තහනමට ලක්‌වූ ටෙස්‌ට් ක්‍රීඩකයන් සංඛ්‍යාව තුනකි.
පානදුර ක්‍රීඩා සමාජයේ පුහුණුකරු සහ නායකයා ලෙස කටයුතු කළ හිටපු ටෙස්‌ට් ක්‍රීඩක චාමර සිල්වා සහ කළුතර පී.සී.සී. ක්‍රීඩා සමාජයේ නායකයා වූ මනෝඡ් දේශප්‍රියට වසර දෙකක ක්‍රිකට් තරග තහනමක් පනවා තිබේ. අදාළ තහනම අනුව ඔවුන්ට එම කාලයේදී ක්‍රිකට් සම්බන්ධ කිසිදු කටයුත්තකට නියෑලීමට නොහැකි වනු ඇත.
37 හැවිරිදි වියේ පසුවන චාමර සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට් තරග 11 කදී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමග ලකුණු 537 ක් ලබා ඇති අතර එක්‌දින තරග 75 ක් නියෝජනය කරමින් ශතකයක් සහ අර්ධ ශතක 13 ක් සමග මුළු ලකුණු 1587 ක් ලබා තිබේ. 2011 වසරෙන් පසුව චාමර සිල්වාට ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව තිබේ. කළුතර පී.සී.සී. ක්‍රීඩා සමාජයේ නායකයා වූ 37 හැවිරිදි මනෝඡ් දේශප්‍රිය පළමු පෙළ තරග 27 කට පමණක් ක්‍රීඩා කර තිබේ.
චාමර සිල්වාට අමතරව මෙම තරගය සඳහා තවත් ටෙස්‌ට් ක්‍රීඩකයන් දෙදෙනකු වන හසන්ත ප්‍රනාන්දු සහ චරිත බුද්ධිකද පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කර තිබේ. හසන්ත ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට් තරග දෙකකට සහ එක්‌දින තරග හතකට ක්‍රීඩා කර තිබේ. චරිත බුද්ධික ටෙස්‌ට් තරග නවයකට සහ එක්‌දින තරග 17 ක් නියෝජනය කර තිබේ.
මේ සම්බන්ධයෙන් මාස හතකට වැඩි කාලයක් පරීක්‍ෂණ පැවැත්වූ අතර අදාළ පරීක්‍ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයකු වන කේ. මතිවානන්ය. ඔහු සාධාරණ පරීක්‍ෂණයක් පවත්වන බව කිහිප වරක්‌ම පැවසූ අතර අදාළ තීන්දුවෙන් පසුව පවසා සිටියේ, ‘ඕනෑම කණ්‌ඩායමක වගකීම දරන්න ඕන නායකයා. නායකයා දැනුවත්ව තමයි සියලු දේ වෙන්නෙ. නියමිත කාලයට පන්දු යවන්න බැරි වුණත් නායකයා තමයි වගකියන්නෙ. ඒ නිසා මේ පරීක්‍ෂණය අනූව නායකයන්ට වසර දෙකක තහනමක් ලබා දුන්නා.’ යනුවෙනි.
මෙම තරගයේදී මුදල් ගනුදෙනුවක් සිදුව නොමැති බවට අනුමාන කරන අතර තරගයේ ජයග්‍රහණය පානදුරට ලබාදීමෙන් ඔවුන්ගේ දළ ලකුණු වේගය සහ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගැනීමේ අරමුණ ඇතිව මෙම ක්‍රියාදාමය සිදුව තිබේ. නමුත් අදාළ ක්‍රීඩා සමාජ දෙකේ බලධාරීන්ට මෙහිදී කිසිදු දඬුවමකට යටත්ව නොතිබීම ද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අදාළ තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුමත කර ඇති දඬුවම්
1. චෝදනාවට තුඩු දුන් එකී තරගය සහ එහි ප්‍රතිඵලය බල ශුන්‍ය කිරීමට සහ තරගාවලියේ ලකුණු වගුව ඒ අනුව නියමිත පරිදි වෙනස් කිරීම.
2. එම ක්‍රීඩා සමාජවලින් තරග ගාස්‌තු අයකර ගැනීමට සහ රු.500,000 බැගින් දඩ නියම කිරීම.
3. ක්‍රීඩා සමාජ දෙකෙහි නායකයන් වශයෙන් ක්‍රියා කළ මනෝඡ් දේශප්‍රිය සහ චාමර සිල්වා යන අය හට වසර දෙකක කාලයක් සඳහා සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් සිදුකිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම.
4. අනෙකුක් චූදිත සියලු ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් හට වසරක කාලයක් සඳහා සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් සිදුකිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම. (ක්‍රීඩාව, පුහුණු කිරීම සහ පරිපාලනය ඇතුළුව)
5. තරග නිලධාරීන්ට එරෙහිව පරීක්‍ෂණයක් පැවැත්වීම හා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.
-දිවයින-