විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමක්

“19වන සංශෝධනය මගින් විගණන කොමිසමක් ස්ථාපිත කළා. එම කාර්ය මණ්ඩලයට මේ වනවිට මාස 20ක් ගතවෙලා තිබෙනවා. නමුත් විගණන කොමිසම ක්‍රියාත්මක වීම සඳහා වන පනත සම්මත වෙලා නැහැ. දැන් අලුත් තත්වයක් මතුවෙලා තිබෙනවා, විගණන කොමිසම විගණනයකට ලක් කිරීම. මොකද, කාර්යමණ්ඩලයක් පත්කොට ඔවුන්ට වැටුප් ගෙවා, දීමනා ගෙවා පහසුකම් සපයා තිබියදී විගණන කොමිසමෙන් කිසිදු කාර්යයක් සිදු නොවීම මුදල් නාස්ති කිරීමක්. ඒ නිසා එම ආයතනය විගණනයට ලක්කළ යුතුව තිබෙනවා. ඒ නිසා කැබිනට් එකේ ඉන්න හොරු, තක්කඩි රැලක් විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට උත්සාහ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි විගණන පනත සම්මත කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඊයේ (25) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා,
“මේ ආණ්ඩුව විගණන පනත සම්මත කිරීම ප‍්‍රමාද කොට තිබෙනවා. ඒ පිළිබඳව ආණ්ඩුව නිද්‍රාශීලීයි. පහුගිය පාලනයට මෙන්ම වර්තමාන පාලනයත් මහජන මුදල් අවභාවිතය, නාස්ති කිරීම, වංචා කිරීම හා දූෂණයේ යෙදීමට විශාල චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. අපේ රටේ ආර්ථික දේහයේ ප‍්‍රධාන පිළිලයන් බවට පත්වෙලා තිබෙන්නේ ජනතා මුදල් අවභාවිතය, වංචාව, දූෂණය හා නාස්තියයි. මේවා අවම කිරීමට නම් යම් අවම සීමාවක හෝ නීතිමය ප‍්‍රතිපාදනයක් අවශ්‍යයයි. නමුත් විගණන පනත සම්මත වූ පමණින්ම මෙම දූෂණයන්, වංචාවන් නතර වේ යැයි හිතන්න පුළුවන්කමක් නැහැ. නමුත් අවම වශයෙන් හෝ වංචාවට, දූෂණයට, නාස්තියට, මුදල් අවභාවිතයට එරෙහිව යම් නීතිමය ආවරණයක් අවශ්‍යයි.
වර්තමාන ආණ්ඩුව යටතේ සිදුකිරීමට නියමිත පොතුහැර සිට ගලගෙදර දක්වා අධිවේගී මාර්ගය කිලෝමීටර් 32.5යි. ඒ සඳහා රුපියල් බිලියන 135ක් වැය කිරීමට නියමිතයි. (රු. කෝටි 13,500) කිලෝ මීටරයක් සඳහා රුපියල් කෝටි 415ක් වැයවෙනවා. මෙම ව්‍යාපෘතිය කැබිනට් එකෙන් ප‍්‍රදානය කළේ මීට පෙර ප‍්‍රතික්ෂේප කළ සමාගමකටයි. අපේ රටේ ජනතාව කිලෝ මීටරයක් වෙනුවෙන් රුපියල් කෝටි 415ක් වැය කළ යුතුද? ඒ වගේම පහුගිය ආණ්ඩුව කාලයේ ප‍්‍රංශ ගුවන් සමාගමක් සමඟ A350 වර්ගයේ ගුවන් යානා 4ක් මිලදී ගැනීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කර තිබුණා. එම ගිවිසුම අතිශය අහිතකර එකක් වගේම විශාල මුදල් ගනුදෙනුවක් සිදුවන ගිවිසුමක්. වර්තමාන ආණ්ඩුව එම ගිවිසුම අහෝසි කළා. ඒ වෙනුවෙන් එම සමාගමට ඩොලර් මිලියන 108ක මුදලක් ගෙව්වා. (රු කෝටි 1650කට ආසන්න මුදලක්) එම මුදල ගෙව්වා පමණක් නොව මේ ආණ්ඩුව A330 වර්ගයේ ගුවන් යානයක් මිලදී ගැනීමටත් දැනට තිබෙන ගුවන් යානයක කල් බදු සීමාව වසර 10ක් දක්වා දීර්ඝ කිරීමටත් එකඟ වුණා. ඒ නිසා මේ පාලනයත් ජනතා මුදල් අවභාවිතා කරන, වංචාව, දූෂණය, නාස්තිය කරන පාලනයක්. ඒ නිසාම මෙම ජනතා මුදල් වියදම් කරන ආකාරය පිළිබඳව ජනතාවට තොරතුරු ගලා යන ක‍්‍රමයක් අවශ්‍යයි.
විගණන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඇමති මණ්ඩලය, අගමැතිවරයා, ජනාධිපතිවරයා බාධා කරනවා. අපේ රටේ විගණන දෙපාර්තමේන්තුවට වසර 200ක් ගත වෙලා තිබෙනවා. නමුත් අපේ රටට විගණන පනතක් නැහැ. ලෝකයේ විගණන පනත් නොමැති රටවල් කිහිපය අතරට ලංකාවත් අයත් වෙනවා. 1987 එවකට කෝප් කමිටුවේ සභාපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියා, රාජ්‍ය මුදල් අවභාවිතය සිදුවන නිසා විගණන පනතක් රටට අවශ්‍යයි කියලා. ඒ වගේම 2003දී විදෙස් රටවල් කිහිපයක සහාය ඇතිව කරන ලද සමීක්‍ෂණයක් මගින් වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා, විගණන පනතක් අපේ රටට අවශ්‍යයි කියලා. ඒ අනුව විගණන පනත් කෙටුම්පතක් 2013දී සකස් කළා. දැන් වසර 14ක් ගතවෙලා තිබෙනවා. මෙම පනත සම්මත කර නැහැ. මෙම පනත සම්මත කරන්නේ අපේ රටේ ජනතාව නම් මේ සඳහා බහුතරයක් ඡන්දය දෙනවා. නමුත් පනත සම්මත කළ යුත්තේ කැබිනට් මණ්ඩලයයි. මහජන මුදල් අවභාවිතය, වංචාව, දූෂණය, නාස්තිය වැළැක්වීමට විගණන පනත සම්මත කරන්න සිදුවෙලා තිබෙන්නේ වංචාකරුවන්, දූෂතයන්, නාස්තිකාරයන් ඉන්න කැබිනට් මණ්ඩලයේ. කැබිනට් එකේ ඉන්න හොරු රැල මෙම විගණන පනත සම්මත කිරීමට දිගින් දිගටම බාධා කරමින් ඉන්නවා.
මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළේ ඉතාම පැහැදිලිව 2015 පෙබරවාරි 19වැනිදා විගණන පනත ඉදිරිපත් කරන බවත් 2015 මාර්තු 19වැනිදා එය සම්මත කරගන්නා බවත් සඳහන් කොට තිබෙනවා. 2015 අප්‍රේල් 20 අගමැතිවරයා මෙම පනත කැබිනට් එකට ගෙනාවා. එනම් දැනට මාස 30ක් ගතවෙලා තිබෙනවා. එම මාස 30 ඇතුළත කැබිනට් මණ්ඩලය 120 වතාවක් පමණ රැස්වෙලා තිබෙනවා. නමුත් තවම අනුමත කරලා නැහැ. එම පනත අවස්ථා කිහිපයකදී සංශෝධනයට ලක්කළා. අපේ රටේ ව්‍යවස්ථාව මේ වනවිට සංශෝධනය වෙලා තිබෙන්නේ. 19 වතාවයි. නමුත් විගණන පනත විසිදෙවතාවක් සංශෝධනයට ලක්වුණා. අනතුරුව 2017 අගෝස්තු 9වැනිදා මෙම පනත කැබිනට් මණ්ඩලයට ආවා. නමුත් ඇමතිවරු තවදුරටත් කල් ඉල්ලනවා මේ පනත අධ්‍යයනය කරන්න ඕනෑ කියලා. ඇයි? තමන් කරන හොරකම්, වංචා, දූෂණ අහුවෙනවාද කියලා බලන්න මේ ඇමතිවරුන් පනත අධ්‍යයනය කරන්න කල් ගන්නවා. ඒ නිසා අපි තීරණය කළා, සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාගේ නමින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම පනත පාර්ලිමේන්තුවට ගේන්න.
අපේ රටේ විගණන ක්‍රියාවලිය ප‍්‍රශ්චාත් මරණ පරීක්‍ෂණයක් වගේ. මූල්‍ය අපරාධ කොට්ඨාශය විමර්ශනය කරන්නේ සිදුවූ මුදල් වංචා පිළිබඳවයි. අල්ලස් හෝ දූෂණ කොමිසම විමර්ශනයට භාජනය කරන්නේ වංචාව සහ අල්ලස් දීම් සිදුවූ පසුවයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ සිදු කරන්නේ අපරාධයක් සිදුවූ පසුවයි. විගණන දෙපාර්තමේන්තුව විගණනය කරන්නේ ගනුදෙනු සිදුවූ පසුවයි. එනිසා අපේ රටටත් ජනතාවටත් සිදුවූ හානි අවම කිරීමට කටයුතු කරනවා වෙනුවට හානිය සිදුවූ පසුව විගණනය කිරීමක් තමයි දැන් සිදුවෙන්නේ. එනිසා අපිට පූර්ව විගණනයක අවශ්‍යතාවය මතුවෙලා තිබෙනවා. පොතුහැර-ගලගෙදර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය එලෙස පූර්ව විගණනය කිරීමකට ලක් කිරීම සාධාරණ නැද්ද? එම ව්‍යාපෘතිය මුලින් ප‍්‍රතික්ෂේ කරපු සමාගමට අගමැතිවරයා විසින් නැවත ලබාදීම විගණනය කිරීම කළ යුතු නැද්ද? මූල්‍ය විගණනය පමණක් නොව මෙම ව්‍යාපෘති පිළිබඳව තාක්‍ෂණික විගණනයක් කළ යුතුයි. ඒ සඳහා මෙම විගණන පනතේ ප‍්‍රතිපාදන තිබෙනවා. පොතුහැර-ගලගෙදර අධිවේගී මාර්ගයට රජයේ ඉංජිනේරු සංස්ථාවේ ඇස්තමේන්තුව රුපියල් කෝටි 12,300ක්ව තිබියදී වෙනත් සමාගමකට කෝටි 13,500කට ලබාදීම විගණනය කළ යුතු නැද්ද?
මෙම විගණන පනතේ ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීමට විශාල බරක් තබා තිබෙනවා. විගණන කොමිසමට පත්වෙන නිලධාරීන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉවත් කොට විගණන සේවා කොමිසම යටතට අනුයුක්ත කිරීමට නියමිතයි. එමෙන්ම මේ වනවිට විගණන දෙපාර්තමේන්තුව මුදල් සපයන්නේ මහා භාණ්ඩාගාරයයි. එම නිසා අවශ්‍ය නම් මුදල් අමාත්‍යාංශයට විගණන කටයුතු සඳහා බාධා කිරීම් කරන්න පුළුවන්. නමුත් විගණන පනතට අනුව විගණන කොමිසමට මුදල් වෙන්කිරීම කළ යුත්තේ පාර්ලිමේන්තුව මගින්. එවිට මුදල් අමාත්‍යාංශයට යටත් වෙන්නේ නැහැ. එමෙන්ම මෙම පනත අනුව විගණන කොමිසමේ මූල්‍ය, පරිපාලන, කාර්යය බද්ධය සියල්ල ස්වාධීනව ක‍්‍රියාත්මක වෙනවා. වංචාව, දූෂණය, නාස්තිය, මුදල් අවභාවිතයට එරෙහිව ආවරණයක් ලැබෙනවා. එය පසෙකලා පනත සම්මත කිරීම මේ පාලකයින් කල් දමමින් ඉන්නවා.
19වන සංශෝධනය මගින් විගණන කොමිසමක් ස්ථාපිත කළා. එම කාර්ය මණ්ඩලයට මේ වනවිට මාස 20ක් ගතවෙලා තිබෙනවා. නමුත් විගණන කොමිසම ක්‍රියාත්මක වීම සඳහා වන පනත සම්මත වෙලා නැහැ. දැන් අලුත් තත්වයක් මතුවෙලා තිබෙනවා, විගණන කොමිසම විගණනයකට ලක් කිරීම. මොකද, කාර්යමණ්ඩලයක් පත්කොට ඔවුන්ට වැටුප් ගෙවා, දීමනා ගෙවා පහසුකම් සපයා තිබියදී විගණන කොමිසමෙන් කිසිදු කාර්යයක් සිදු නොවීම මුදල් නාස්ති කිරීමක්. ඒ නිසා එම ආයතනය විගණනයට ලක්කළ යුතුව තිබෙනවා. ඒ නිසා කැබිනට් එකේ ඉන්න හොරු, තක්කඩි රැලක් විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට උත්සාහ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි විගණන පනත සම්මත කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා.”

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.