මහින්දානන්ද සිදුකළ තවත් සොරකමක් ගැන තවත් නඩුවක් අධිචෝදනා සමඟින්

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ තිස්නවයක් වංක ලෙස භාවිත කැර සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අධිචෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේ ඇසීමට බලයක් නොමැති බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව ඊයේ (15) ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කෙළේය.
මෙම නඩුව විභාගය සඳහා ලබන නොවැම්බර් මස 29 හා දෙසැම්බර් මස 11 දිනට දින නියම කළ විනිසුරුවරයා නඩුවේ පැමිණිල්ලේ 1 – 10 දක්වා වූ සාක්කිකරුවනට එම දිනයන්හි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ රෙජිස්‍ටාර්වරයාට නියෝග කෙළේය.
අධිකරණ ඇප මත සිටින විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (15) අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙම සිද්ධියට පාදක වූ මූල්‍ය ගනුදෙනුව නාවලපිටිය මහජන බැංකුව හරහා සිදුව ඇති හෙයින් නඩුව විභාගයට ගත යුතු අධිකරණ බලසීමාව සම්බන්ධව මූලික විරෝධතාවක් ඉදිරිපත් කැර තිබූ විත්තිය නඩුව මෙම අධිකරණයේ ඇසීමට බලයක් නොමැති බව දන්වා තිබුණි.
ඒ සම්බන්ධව තීන්දුව ලබාදීම විනිසුරුවරයා ඊයේ (15) දිනට කල් තබා තිබුණි. නඩුව ඊයේ (15) කැඳවූ අවස්ථාවේ විනිසුරුවරයා දන්වා සිටියේ විත්තිය ඉදිරිපත් කළ එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ බවයි.
තවද මෙම නඩුව කොළඹ මහාධිකරණයේ ඇසීමට බලයක් ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා නඩුවේ සාක්කි විභාගය ආරම්භ කිරීමට තීරණය කරමින් නඩු විභාගය සඳහා එසේ දින නියම කරන ලදී.
අධිචෝදනා තුනක් යටතේ විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.
2012 ඔක්තෝබර් මස 31 කොටුව හා නාවලපිටියේදීත් 2012 නොවැම්බර් 14 හා 2013 අප්‍රේල් 10 ය දිනයන්හි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදීත් ශ්‍රී ලංකා නිදහස් කම්කරු ‍කොංග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් නාවලපිටිය මහජන බැංකු ශාඛාවේ වූ ගිණුමෙන් විත්තිකරු භාරයට පත් කර තිබූ රුපියල් තිස්නව ලක්ෂයක මුදල සාපරාධී සාවද්‍ය පරිහරණය, වංක ලෙස භාවිත කිරීම හා සාපරාධී විශ්වාසය කඩ කළ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා නඟා ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.