මියන්මාර් සරණාගතයින් පිළිබඳව කටයුතු කිරීමේදී රජය විසින් දිගු කලක් තිස්සේ අනුමත නීතිරීති රාමුව තුළ ක්‍රියාකොට ඇති අතර නිශ්චිත ක්‍රියාපටිපාටියකින් බැහැරව කිසිසේත්ම ක්‍රියාකොට නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් උපුටාදක්වමින් එම නිවේදනය නිකුත්කොට තිබේ.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
මියන්මාරයේ වර්තමානයේ ඇතිවී ඇති තත්ත්වය හා රොහින්යා සරණාගතයන් පිළිබඳ අප සමාජය තුළ නොයෙකුත් කණ්ඩායම් විසින් පසුගිය දින කිහිපය තුළ පරස්පර විරෝධී අදහස් දක්වමින් විවිධ ක්‍රියාමාර්ග දියත් කරනු දක්නට ලැබුණි.
මේ පිළිබඳව ආගමන හා විගමන විෂයභාර අමාත්‍යාංශය වශයෙන් පහත සඳහන් නිවේදනය කිරීමට අදහස් කෙරේ.
මියන්මාරයෙන් පලා යන රොහින්යා මුස්ලිම් ජාතීන් 55ක පිරිසක් 2008 මාර්තු මස 03 වන දින ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් මුහුදේදී බේරා ගන්නා ලදුව ඔවුන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (UNHRC) වෙත භාරදෙන ලදී. මෙම සරණාගතයින් සියලු දෙනාම 2012 ජූලි මස දිවයිනෙන් බැහැරව ගොස් ඇත.
නැවත වරක් 2013 පෙබරවාරි මස බෝට්ටු දෙකකින් එක් බෝට්ටුවක 138 කුත්, අනෙක් බෝට්ටුවේ 32 කුත් ලෙස සරණාගතයින් 170 දෙනකු මුහුදේදී නාවික හමුදාව විසින් බේරාගෙන එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (UNHRC) වෙත භාරදෙන ලදී. මොවුන්ද, 2015 නොවැම්බර් මස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
ඉන්පසු 2017 අප්‍රේල් මස 30 වන දින ශ්‍රී ලංකාව ආසන්නයේ අනතුරට පත් යාත්‍රාවක ජීවිත අවදානමකට ලක්ව සිටි ළමුන් 17ක් ද ගැබිනි කාන්තාවක් ද ඇතුළු කාන්තාවන් 07 දෙනකු ඇතුළු රොහින්යා වැසියන් 30 දෙනකු කලින් වාරවලදී මෙන්ම, නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට රැගෙන එන ලදී. මොවුන් අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව UNHRC විසින් පෙර පරිදිම භාරගන්නා ලදී.
මෙම සරණාගතයින් පිළිබඳව කටයුතු කිරීමේදී රජය විසින් දිගුකලක් තිස්සේ අනුමත නීතිරීති රාමුව තුළ ක්‍රියාකොට ඇති අතර නිශ්චිත ක්‍රියාපටිපාටියකින් බැහැරව කිසිසේත්ම ක්‍රියාකොට නොමැති අතර, ඉදිරියේදී ද කලින් පිළිගත් ක්‍රියාමාර්ග තුළම කටයුතු කරනු ඇත.