ඉදිරි මැතිවරණයට එජාප අපේක්ෂකයන් තෝරන්න අලුත් ක්‍රමයක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින් බඳවා ගැනීම නව නිර්ණායකයන් යටතේ සිදු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පවසයි.
ගමේ පන්සලේ, පල්ලියේ හොද හිත දිනා ගත්, යහපත් චරිතයක් පවත්වාගෙන යන පිරිසිදු පුද්ගලයින්ට මෙවර අපේක්ෂකත්වය ලබාදීම සිදු කරන බවත් පිරිසිදු දේශපාලනයක් ස්ථාපිත කිරීම එජාපයේ අරමුණ බවත් ඇමැතිවරයා පැවැසුවේය.
සිරිකොත පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (06) ප්‍රකාශ කෙළේය.
වසර 1994 න් පසුව ඉතා කෙටි කාලයක් හැර මේ දක්වා පළාත් පාලන ආයතන පාලනය කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ වූ නියෝජිතයින් බවත් ඔවුන්ගේ පාලන සමයේදි පාපැදිවලින් පැමිණි නියෝජිතයින් එම ධුරයෙන් ඉවත් වන විට ඉවත් වූයේ ජීප්, මොන්ටේරෝ, පැජරෝ අරගෙන බවත් ඇමැතිවරයා මතක් කළේය.
පළාත් පාලන ආයතනවලට පත්ව සිටි බහුතරයක් නියෝජිතයින් වංචා දූෂණ සිදු කරමින් මහජනතාවට හිමි වූ මුදල් තමන්ගේ සාක්කුවලට දා ගැනීමට කටයුතු කර ඇති බවත් ඒ නිසා ග්‍රාමීය සංවර්ධනය පසුගිය කාලයේ අඩාල වූ බවත් ඇමැතිවරයා පැවැසීය.
පළාත් පාලන ආයතනවලට පත්ව සිටි ඇතැම් සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් ප්‍රදේශයේ සංවර්ධනයට ලැබෙන මුදල් තමන්ගේ නිවෙස්වලට යන මාර්ග කොන්ක්‍රීට් කිරීමටත්, සංවර්ධන කටයුතු සඳහා වන කොන්ත්‍රාත් තමන්ම බාර ගැනීමත් යනාදිය සිදු කළ බවට තොරතුරු පවතින්නේ යැයි ද, එමඟින් මුදල් වංචා කිරීම් සිදු කෙළේ යැයි ද ඇමැතිවරයා පැවැසුවේය.
එසේ පැවැති පාලනය අවසන් කිරීම සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයට එජාපයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයින් ඉතා පිරිසිදු චරිත වන්නේ යැයි ද ඇමැතිවරයා කීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *