පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්‌ගෙන් CIDය දිගින් දිගටම ප්‍රශ්න කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාගෙන් ඊයේ (08දා) දිනයේ ද උදේ සිට සවස්‌ වනතුරු ජනාධිපති බැඳුම්කර කොමිසමට අනුයුක්‌ත රහස්‌ පොලිස්‌ නිලධාරීහු ප්‍රකාශ සටහන් කර ගත්හ.
ඇලෝෂියස්‌ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම පෙරේදා (07දා) සිට ආරම්භ වූ අතර ඔහු අද සහ හෙට දින දෙකේ ද ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා බැඳුම්කර ජනාධිපති කොමිසමේ රහස්‌ පොලිස්‌ අංශය වෙත කැඳවා ඇතැයි අර්ජුන් ඇලෝෂියස්‌ මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුර ප්‍රේමරත්න මහතා ඊයේ කොමිසමට ප්‍රකාශ කළේය.
එසේ ප්‍රකාශ ලබා ගැනීම ගැන විරෝධය පළ නොකරන බවද ප්‍රේමරත්න මහතා කීවේය.
කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා කීවේ ලබන සතියේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතාව සාක්‌ෂි ලබා ගැනීම සඳහා කොමිසමට කැඳවන බවත්, ඊට පෙර දිවුරුම් ප්‍රකාශයක්‌ සූදානම් කරන ලෙසත් ය.
දිගටම තම සේවාදායකයා රහස්‌ පොලිසියට ප්‍රකාශ ලබා දෙමින් සිටින නිසා එම ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු තම දිවුරුම් ප්‍රකාශය සකස්‌ කිරීමට තමාට දින දෙකක කාලයක්‌ ලබා දෙන ලෙස ඇලෝෂියස්‌ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොමිසමෙන් ඉල්ලීමක්‌ කළේය.
දැනට කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාගේ සාක්‍ෂි විභාග කිරීමෙන් පසුව ඇලෝෂියස්‌ මහතා සාක්‍ෂි ලබා ගැනීම සඳහා කොමිසම හමුවට කැඳවීමට නියමිතය.
තම සේවාදායකයා සාක්‍ෂිකරුවකු ලෙස කොමිසම හමුවට කැඳවීම ගැන විරෝධය පළ කරන බව කී අනුජ ප්‍රේමරත්න මහතා කොමිසමට කරුණු දක්‌වන බව ද කීවේය. විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා මේ බව කීවේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.