ශ්‍රී ලංකාව අද පළමුවරට රෝස පන්දුවෙන් ක්‍රිකට් ගසයි

ශ්‍රී ලංකාව ඉතිහාසයේ සහභාගි වන පළමු දිවා රාත්‍රී ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයට අද (06 දා) පාකිස්‌තානය සමඟින් සහභාගි වේ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.
පාකිස්‌තානය මීට පෙර බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඔස්‌ටේ්‍රලියාව සමඟින් දිවා රාත්‍රි ටෙස්‌ට්‌ තරගවලට සහභාගි වී අත්දැකීම් ලබා තිබුණද දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලට මෙය තරමක අලුත් අත්දැකීමක්‌ බවට පත්ව තිබේ. රෝස පැහැති පන්දුව දිවා රාත්‍රි තරගය සඳහා යොදා ගන්නා බැවින් ශ්‍රී ලංකා පිල පසුගිය දින දෙක තුනේදී එම පන්දුවේ පැහැයට හුරුවීමට පුහුණුවීම් කර තිබේ.
මේ වන විට තරගාවලිය 1-0 ක්‌ ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත්ව තිබීමෙන් මෙම තරගයේ ජය කෙසේ හෝ උදුරා ගැනීමට පාකිස්‌තානුවන් වෙහෙසනු ඇත. ඒ වෙනුවෙන් සන්නද්ධව ඉවසීමෙන් ක්‍රීඩා කිරීමේ වගකීම ශ්‍රී ලංකා කණ්‌ඩායම හමුවේ ඇති අතර තරගයකට වැඩි ටෙස්‌ට්‌ තරගාවලියක්‌ ශ්‍රී ලංකාව මෑත කාලයේදී ජය ලබා නොමැත.
‘දිවා රාත්‍රි ටෙස්‌ට්‌ තරගය අපිට අලුත් අත්දැකීමක්‌. මේ වන විට අපි පළමු තරගය ජය ගැනීමෙන් කණ්‌ඩායම ඉතාමත් සතුටට පත්වී සිටිනවා’ යෑයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මෙම තරගය පිළිබඳව පැවසීය.
දිවා රාත්‍රි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසය
එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්‍ෂකයන් ටෙස්‌ට්‌ තරගවලට නොපැමිණීම හේතුවෙන් දිවා රාත්‍රි ටෙස්‌ට්‌ තරග කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙය ආරම්භ විය.
ටෙස්‌ට්‌ ක්‍රීඩාව ජනප්‍රිය කරවීම සහ වැඩි ප්‍රේක්‍ෂක ආකර්ෂණයක්‌ ඒ සඳහා යොදවා ගැනීමේ අරමුණ ඇතිව ආරම්භ කළ මෙම දිවා රාත්‍රි ටෙස්‌ට්‌ තරගයේ පළමු තරගය ඔස්‌ටේ්‍රලියාවේ ඇඩිලේඩ්හිදී පැවැති අතර එම තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂක සහභාගිත්වයක්‌ පැමිණ සිටියේය.
2009 වසරේ සිට රෝස පැහැති පන්දුවෙන් ටෙස්‌ට්‌ ක්‍රීඩා කිරීම සඳහා අත්හදා බැලීම් සිදුවූ අතර එහිදී කොකබුරා ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ බ්‍රෙට්‌ එළිඔට්‌ විසින් ඒ සඳහා අවශ්‍ය පන්දුව අත්හදා බැලීම් කිහිපයකින් පසුව සාර්ථක කර ගැනීමට සමත් විය. එහිදී රාත්‍රි ආලෝකයට උචිත ලෙස රෝස පැහැති පන්දුවට අනුමැතිය ලැබුණි.
රෝස පැහැති පන්දුවෙන් පළමු ටෙස්‌ට්‌ තරගය 2015 වසරේදී ඔස්‌ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එදා මිචෙල් ස්‌ටාක්‌ විසින් නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම්ට පළමු පන්දුව යොමු කර තිබේ. අනතුරුව පාකිස්‌තානය 2016 දී බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ රෝස පැහැති පන්දුවෙන් පළමු දිවා රාත්‍රි තරගයට ඩුබායිහිදී සහභාගි වූ අතර අනතුරුව ඔස්‌ටේ්‍රලියාව සමග බ්‍රිස්‌බේන්හිදීත් දිවා රාත්‍රි තරගයකට ඔවුන් සහභාගි වී තිබේ.
-දිවයින-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.