මාමටයි-බෑනටයි නඩු පවරන්න බැඳුම්කර කොමිසම සැරසෙයි

සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ ඔහුගේ මාමා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතා නීතිපතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම් දී තිබේ.
කොමිසමේ ලේකම්වරයා නීතිපති වෙත යැවූ ලිපියෙන් දැනුම් දී ඇත්තේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා ආඥා පනතේ 24 වැනි ඡේදයෙන් සැලැසී ඇති ප්‍රතිපාදන අනුව, කොමිසමෙන් මෙතෙක් අනාවරණය වූ කරුණු අතරින් මනාව තහවුරු වී ඇති අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් වගකිවයුතු මේ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ක්‍රියා කරන ලෙසයි.
කොමිසමේ විමර්ශන කටයුතුවලට බාධා පමුණුවමින් සාක්‍ෂි විනාශ කිරීමට ක්‍රියා කිරීමෙන්ද, කොමිසම හමුවේ කරුණු අනාවරණය කිරීමට ඉදිරිපත් වන්නන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම් මඟින් සාක්‍ෂිකරුවන් සාක්‍ෂි ලබාදීම වැළැක්වීමට ක්‍රියා කිරීම මඟින් අර්ජුන් ජෝශප් ඇලෝසියස් සාපරාධී ක්‍රියාවල නිරතව ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසද කොමිසමෙ ලේකම්වරයා නීතිපති වෙත යැවූ ලිපියෙන් දැනුම් දී තිබේ.
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිවද නීතිමය පියවර ගන්නා ලෙසට කොමිසමේ ලේකම්වරයා නීතිපතිට යැවූ ලිපියෙන් පෙන්වා දී තිබෙන්නේ මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් ක්‍රියා කරමින් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී විවිධ උපක්‍රම කරමින් හා ඇතැම් විට විවෘතව මැදිහත් වෙමින් තම බෑනා වන අර්ජුන් ඇලෝසියස් නමැත්තාට අයුතු ලාභ ගැනීමට ක්‍රියා කිරීම හා ඊට සහාය වීම මඟින් ශ්‍රී ලංකා මහ බැංකුවටත්, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන ආයතනවල ශ්‍රී ලංකා මහ බැංකුව තුළ තැන්පත්ව තිබූ මුදල් සංචිතවලින් රුපියල් කෝටි ගණනින් පාඩු හා අලාභ සිදු කිරීම සම්බන්ධයෙනි.
-මව්බිම-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.