ඉතිහාසයේ මෙන්ම අදටද කිසි විටෙකත් රට බෙදීමකට ලක් කිරීමට ඉඩ නොදෙන බවත්, තම ස්ථාවරය නිවැරදිව පිළිගන්නා ලෙසත් ජනතා විමුක්ති පෙරමුණ මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජනතාව තුළ වැරදි මත ගොඩ නගමින් බොරු බියක් ඇති කිරීමට දේශපාලන බංකොළොත්භාවයෙන් යුතු කණ්ඩායම් උත්සාහ කරන අතර එවැනි සිදුවීම්වලට නොරැවටෙන ලෙස අද(18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා වැඩි දුරටත් කියා සිටියේය.
එමෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තාවට ජනතා විමුක්ති පෙරමුණ ලෙස අදහස් හා සංශෝධන 09ක් ඉදිරිපත් කොට ඇති බවත්, එහි මූලික කරුණක් වන්නේ, විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින්ම ඉවත් කිරීම බවත්, විධායක ජනාධිපතිධුරය සහිතව නව ව්‍යවස්ථාවක් හදන්න කිසිසේත්ම හැකියාවක් නොමැති බව ද විජිත හේරත් මහතා මෙහිදී පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ සිටම මෙරට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජනතාවගේ ජාතික සමගිය වෙනුවෙන් කැපකිරීම් කළ පක්‍ෂයක් බවත්, මව්බිමේ ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත කැපකළ පක්‍ෂයක් බවත්, එදා ඉන්දියානු මැදිහත්වීම සිදුවෙන අවස්ථාවේදී ජවිපෙ 60,000ක් ජීවිත පරිත්‍යාග කළ බවත් පැවසීය.
උතුරු නැගෙනහිර එක පළාතක් බවට ගැසට්කර තිබුණු අතර රාජපක්‍ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු 2005 නොවැම්බර් 23 ඔහුගේ පළමු ගැසට් නිවේදනය වුණේ උතුරු නැගෙනහිර තවදුරටත් ඒකාබද්ධ කරමින් ගැසට් නිවේදනය දීර්ඝ කිරීම බවත්, අද කෑගහන අය ඒවා හිතාමතාම අමතක කර ඇති නමුත් ජනතා විමුක්ති පෙරමුණ 2006 ජූලි මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර උතුරු නැගෙනහිර පළාත් වෙන් කරන්න ලෙස ඉල්ලා සිටි බව ද විජිත හේරත් මහතා කියා සිටියේය.
ඒ අනුව ඓතිහාසික නඩු තීන්දුවක් ලෙස, උතුරු නැගෙනහිර වෙන් කළ අතර ඒවා සිදු කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ බවද ඔහු පැවසීය.
එවැනි පක්ෂයක් ලෙස ජවිපෙ නැවතත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න ඉඩ නොදෙන බවත් සමහරු කියන විදිහට උතුරු නැගෙනහිර ඒකාබද්ධ වීමට ඉඩ නොදෙන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මාධ්‍යවේදියෙකු විසින් අවසන ලද පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය.
“විධායක ජනාධිපති ධුරය නිසා රට ආරක්‍ෂා වුණා කියලා ඇතැම් අය කියනවා. ඒක අසත්‍ය කතාවක්. වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් බවට ප‍්‍රකාශයට පත්කරපු වෙලාවේ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක‍්‍රමය පාවිච්චි කරලා රට ආරක්‍ෂා කරගත්තා කියලයි කියන්නේ.
නමුත් 78 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිධුරයට එවැනි බලතල ලැබිලා නැහැ. හදිසි පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන තමයි වර්ධරාජා පෙරුමාල්ගේ ප‍්‍රකාශය නීත්‍යානුකූල වශයෙන් පරාජයට පත්කළේ.
එනිසා විධායක ජනාධිපති බලතල පාවිච්චි කරලා රට බේරාගත් බවට කරපු එම ප‍්‍රකාශය අසත්‍ය එකක්. විධායක ජනාධිපතිධුරය ඉවත් කළත් අවශ්‍ය නීති ව්‍යවස්ථාවට ඇතුළත් කරලා එම බලතල පාර්ලිමේන්තුව හරහා හෝ අගමැතිවරයා හරහා කි‍්‍රයාත්මක කරන්න පුළුවන්.
ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් ඉවත් වන්නෙත් නැහැ. විධායක බලතල තමයි අඩුවෙන්නේ. ඒනිසා විධායක ජනාධිපතිධුරය ඉවත් කළත් රට බෙදන්න නොදෙන නීති හදන්න හැකියාවක් තියෙනවා. බෙදුම්වාදී යුද්ධය ඇතිවුණේ විධායක ජනාධිපති ධුරය තිබියදී. එනිසා ඔය ඉදිරිපත් කරන තර්කවලට පදනමක් නැහැ.“