ඡාවාරම්කරුවන් සමඟ වැඩ කළ කටුගස්‌තොට පොලිසියේ 65ක් එකවර මාරු

කටුගස්‌තොට පොලිසියේ නිලධාරීන් රැසක්‌ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට හා පැමිණිලි සටහන් කරගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගන්නා බවට ලැබුණු චෝදනා මත ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීම පහසු කිරීම සඳහා එකවර නිලධාරීන් 65 දෙනකු මාරුකර යෑවීමට පියවර ගත් බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති මහින්ද ඒකනායක මහතා පවසයි.
මෑත ඉතිහාසයේ මහනුවර පොලිස්‌ කොට්‌ඨාසය තුළ එක්‌ පොලිස්‌ ස්‌ථානයක පොලිස්‌ නිලධාරීන් වැඩිම පිරිසක්‌ එකවර මාරු කරන ලද ප්‍රථම අවස්‌ථාව ලෙස සනිටුහන් කරමින් කටුගස්‌තොට පොලිස්‌ සැරයන් වරයකුගේ වැඩ තහනම් කර තවත් 65 දෙනකු වහා ක්‍රියාත්මක වන පරිදි මාරුකර යෑවීමට මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති මහින්ද ඒකනායක මහතා විසින් පියවර ගෙන තිබේ.
විවිධ දූෂණ හා අක්‍රමිකතාවලට සම්බන්ධ බවට ලැබුණු පැමිණිලි මත මෙම නිලධාරීන් මාරු කර යවා ඇත. ස්‌ථාන මාරුවීම් නියෝගය පෙරේදා (30 දා) නිකුත් කර තිබෙන අතර අදාළ මාරුවීම් ඊයේ (01 දා) සිට ක්‍රියාත්මක වී තිබිණි.
ස්‌ථාන මාරුවීම් ලද පිරිස අතර දූෂණ මර්දන අංශ ස්‌ථානාධිපතිවරයා හා රථවාහන අංශ ස්‌ථානාධිපතිවරයා ද වෙති. මහනුවර පොලිස්‌ කොට්‌ඨාසය තුළ ඇති පොලිස්‌ ස්‌ථාන වන හසලක, රංගල, තෙල්දෙණිය, මැණික්‌හින්න, බලගොල්ල, කඩුගන්නාව සහ මහනුවර යන පොලිස්‌ ස්‌ථාන වෙත ඔවුන් මාරු කර යෑවීමට පියවර ගත් බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති ඒකනායක මහතා පැවසීය.
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් තුනක්‌ සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධ විස්‌තර හා අත්අඩංගුවට ගත් භාණ්‌ඩ පිළිබඳ තොරතුරු සටහන් කෙරෙන පොලිස්‌ තොරතුරු සටහන් පොතත්, නඩු භාණ්‌ඩ සම්බන්ධ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන බී වාර්තාවත් අස්‌ථානගතව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පොලිස්‌ සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබෙන බව වාර්තා වෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.