මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙනවාද..? නැද්ද..?

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට ලබාදෙනවාද නැද්ද කියා මෙතෙක්‌ තීන්දුවක්‌ ගෙන නැතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඩලස්‌ අලහප්පෙරුම මහතා ගෙන ආ සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය සම්බන්ධව මාතර දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා විසින් සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ කීවේය.
වරාය, ගුවන්තොටුපළ ඒකාබද්ධ ව්‍යාපෘතියක්‌ ලෙස අධිවේගී මාර්ගය යා කරලා දියුණු ආර්ථික කලාපයක්‌ හදන්නයි මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කළේ. ඒත් අද ඒ ආයතන දෙක චීනයට හා ඉන්දියාවට දෙන්න තීරණය කර තිබෙනවා. මේකට විරෝධය දක්‌වා පසුගියදා කළ උද්ඝෝෂණයට පොලිසිය ම්ලේච්ඡ ලෙස ප්‍රහාර එල්ල කළා. කන්බෙරයට හානිවූ මාධ්‍යවේදියෙක්‌ රෝහල්ගත වෙලා.
හම්බන්තොට මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා (යෝජනාව ස්‌ථිර කරමින්)
අද ගුවන් යානා හතරකට පහකට වඩා මත්තලට එන්නේ නෑ. 2015 ට කලින් ගුවන් යානා එන්නත් අද නොඑන්නත් හේතුව මේ රජයේ ප්‍රතිපත්තියි. 2015 න් පසු ගුවන් යානා එන එක නතර කරලා අද කියනවා මත්තලට මගීන් එන්නේ නෑ කියා. බස්‌ නැවතුමක්‌ හදලා බස්‌ ගෙන එනවා වගේ ගුවන් තොටුපළකට ගුවන් යානා ගෙන්වන්න බෑ. 2015 න් පසු ගුවන් යානා එන එක නතර වෙලා. වී ගබඩා කළා. එමඟින් ගුවන්තොටුපළේ ගෞරවය කෙළෙසා දැම්මා. පාඩුයි කී ගුවන්තොටුපළට ඩොලර් බිලියන පහක ලංසුවක්‌ අද ඇවිත්. ආයෝජකයෝ ගෙන එන මුවාවෙන් ජාතික සම්පත් විජාතිකකරණය කිරීම ගැන අපි විරුද්ධයි.
ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක්‌ අබේසිංහ මහතා-
ඩලස්‌ අලහප්පෙරුම මහතා ගෙන ආ යෝජනාව ගැන මට පුදුමයි. එතුමා එදා සිටි රජයේ කෙනෙක්‌. මේ ඉඩම් විකුණන්න පිඹුරුපත් සකස්‌ කරද්දී ඒ ආණ්‌ඩුවේ සිටි කැබිනට්‌ ඇමැතිවරයා මේ ආණ්‌ඩුව ඒ ඉඩම් බදු දෙන්න හදද්දී විරෝධය දක්‌වනවා. විකිණීම හා බදුදීම අතර තියෙන වෙනස දන්නේ නෑ.
හම්බන්තොට දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජනිස) ඩී. වී. චානක මහතා-
රටේ සම්පත් විකුණා දැමීමට එරෙහිවයි අපි එදා විරෝධය දැක්‌වූයේ.
පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු විසිඅටක්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා. හම්බන්තොට මන්ත්‍රීවරුන් මේ ගැන නිහඬව සිටීම ගැන අපි කනගාටු වෙනවා. හෙට වෙද්දී යාල වනෝද්‍යානය විකුණුවොත් මේ ඇමැතිවරු ඒකටත් අත ඔසවයි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා-
අද ජනමාධ්‍යයත්, විපක්‍ෂයත් මාතෘකා නැතිව මාතෘකා සොයමින් රජයට පහර දෙන්න උත්සාහ කරනවා. අවුරුදු 99 කට බදු දෙන්න හරි විකුණන්න හරි තවම ක්‍රියා මාර්ගයක්‌ ගෙන නෑ. මත්තල ගුවන්තොටුපළ කාර්යක්‍ෂමව කරගෙන යාම සඳහා ආයෝජකයන් ගෙන එන්න තීරණය කර තිබෙනවා.
2013 දී සේවකයෝ 574 ක්‌ වැඩ කළා. 1451 යි ආපු මගීන් ගණන. 2014 දී ආවේ මගීන් 2578 යි. 2015 දී ආවේ මගීන් 1044 යි. 2016 දී ආවේ මගීන් 1317 යි. 2017 දී ආවේ මගීන් 1214 යි. අපට ඕනෑ විදිහට ගුවන් යානා එන්නේ නෑ. එතන අති නවීන නෑ. අවශ්‍ය පහසුකම් නෑ. මෙහි ඇත්තේ ගුවන්තොටුපළක්‌ නොවේ ගුවන්තොටුපළෙන් භාගයයි. එදා මහින්ද රාජපක්‍ෂ මහතා පෝර්ට්‌ සිටි එක, ශැන්ගි්‍රලා එක දෙද්දී අපිත් කටවහගෙන හිටියා. එදා ආයෝජකයෝ හොඳනම් අද කොන්දේසි සහිතව දෙද්දී මොකක්‌ද වැරැද්ද. ඉන්දියාව මෙහි ආයෝජනය කරන්න කැමැති බව කීවා. සල්ලිවලට ගන්න නොවේ. දැනට කටුනායක කළමනාකරණය කරන සමාගමත් එක්‌ක හවුල්වී මත්තල දියුණු කරන්න කැමැතියි කීවා. අපි ඒ පිළිබඳ විස්‌තරාත්මක යෝජනා ඉල්ලා සිටියා. ඉන්දියා සමාගමට දෙනවාද නැද්ද කියා ආණ්‌ඩුව තවම තීරණය කර නෑ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා-
හම්බන්තොට ඉඩම් විකිණීමක්‌ හෝ ඒ ජනතාවට හානිවන කිසිවකට අපේ අත් ඔසවන්නේ නෑ. හම්බන්තොට වරාය, ගුවන්තොටුපළ වැරදියි කියා මම කියන්නේ නෑ. මේ ගුවන්තොටුපළ වරාය හදද්දී වූ දේ, ගිය ගණන් හිලව් ගැන අපටත් පැය ගණන් කිව හැකියි. නමුත් ඒ තත්ත්වයට අපි වැටෙන්නේ නැහැ. කොළඹ ගුවන්තොටුපළ තත්ත්වයට මත්තල ගෙන එනවා නම් අපි ඒකට කැමතියි. පසුගියදා කළ විරෝධතාව මිනිසුන් නොමග යවා කළ එකක්‌. අහිංසක මිනිස්‌සු තුවාල වුණා. හිරේ ගියා. නායකයෝ සැඟවිලා.
ඩලස්‌ අලහප්පෙරුම මහතා-
මිනිසුන්ගේ කන් අඩි පැළෙන්න ගහන එක අනුමත කරනවාද?
ඇමැති අමරවීර මහතා-
පොලිසියට ගල් ගහපු එක, කුණුහරුප කියන එක අනුමත කළ හැකිද? හැබැයි මිනිස්‌සු මැරුවේ නෑ. කනට ගහපු එක වැරදි වෙන්න පුළුවන්. මෙතන කෑ ගහපු අයගේ ඉඩම් මේ සංවර්ධන කටයුතුවලට යනවා මේ අයගේ ගල්කොරි තියෙනවා. ඒකයි කෑගහන්නේ. අපිට ගල්කොරිත් නෑ, වැලි පර්මිට්‌ නෑ.
-දිවයින-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *