2018 වෙනුවෙන් අගමැති ආර්ථික ප්‍රතිපත්තිය කියයි

හැකියාවෙන්, දක්ෂතාවයෙන් හා ශක්තියෙන් පිරි ආයෝජකයන් දිරිමත් කරන, ඉදිරියට යා නොහැකි පිරිස් ශක්තිමත් කර, ඔවුනට අතදෙන අයවැයක් 2018 වෙනුවෙන් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (20දා) පැවසීය.
ආදායම් උද්පාදනය කර මුල්‍ය ස්ථාවරත්වයක් ඇති පොහොසත් රටක් ගොඩනඟා ශ්‍රී ලංකාව ආසියාවේ වෙළෙඳ හා ආර්ථික කේන්‍ද්‍රස්ථානය බවට පත්කරන සැලසුම් ඉදිරි වර්ෂයේදී ක්‍රියාත්මක කරන බවත් පැවසූ අගමැතිවරයා 2015 වසරේ සිට මේ දක්වා ලබා ඇති ආර්ථික ජයග්‍රහණද හෙළි කළේය.
ලෝක ආර්ථික අර්බුද හමුවේ ආර්ථිකය ජයගත් යහපාලන රජය 2015 දී මුළු ආදායමෙන් සියයට 96.6 ක අගයේ පැවැති ණය බර සියයට අසූව දක්වා අඩුකර ඇති බවත් 2020 දී එම ණය බර දළ දේශිය නිෂ්පාදිතයෙන් සියයට හැත්තෑව දක්වා අඩුකර අයවැය පරතරය 3.5 දක්වා අඩුකිරීමට අපේක්ෂා කරන බවත් පැවසිය.
වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 දක්වා වැඩිකිරිමටත් රැකියා දශලක්ෂයක් උත්පාදනය කිරීම‍ට අපේක්ෂා කරන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට පසුගියදා (20) ඉදිරිපත් කරමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා – රටේ වත්මන් ආර්ථික තත්ත්වය හා අපේ රජයටත් ජනතාවටත් ඉදිරියට යෑමට ඇති මාර්ගය ගැන කරුණු පැහැදිලි කරන්නට මා මේ අවස්ථාව යොදාගන්නවා. 2015 වසරේ සහ 2016 වසරේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීමේ අවශ්‍යතාව මා අවධාරණය කළා. අද අප මුහුණ දෙන අභියෝගය වන්නේ අප ගොඩනගාගත් දෙය රැකගැනීම හා ආර්ථිකය ශක්තිමත් කර ගැනීමයි. ඒ කාර්යයට මාර්ග දෙකක් තිබෙනවා. පළමුවැන්න ආර්ථිකය ස්ථාවර කොට අපේ අනාගත පරපුර ණය බරින් නිදහස් කිරීමයි. දෙවැන්න ආර්ථිකය පුළුල් කරමින් සියළු ශ්‍රී ලාංකිකයන්ට සමෘද්ධිමත් වීමේ අවස්ථාව ලබාදීමයි.
අපට උරුම වුණේ ගරා වැටුණු ආර්ථිකයක්. 2015 වර්ෂයේ පටන් අපේ ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කිරීමට ප්‍රධාන පියවර රැසක් ගත්තා. ගිය වසරේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයේ දී මා සඳහන් කළාක් මෙන් අතීතයට වරද පටවමින් සිටීමෙන් සිදුවන යහපතක් නැහැ. අපි උත්සාහ ගත යුත්තේ අතීත වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරි ගමනට යෙදෙන්නටයි.
2016 වර්ෂයේ දී අපගේ පාලනයෙන් තොර අභියෝග මෙන්ම, දේශීය හා ගෝලීය තත්ත්වයන් ඉදිරියේ පවා දළ දේශීය නිෂ්පාදිතයේ 4.4% ක වර්ධන වේගයක් පවත්වාගන්නට අපට හැකි වුණා. විරැකියාව 4.2% ක මට්ටමේ තබා ගන්නටත් අයවැය පරතරය 5.4% දක්වා අඩුකර ගන්නටත් හැකි වුණා.
සමහර විට මෙහිදී සංඛ්‍යා ලේඛනවලට වඩා වැදගත් වන්නේ අපගේ ඉලක්ක වෙනස් වීමයි. අලෙවි කළ නොහැකි ද්‍රව්‍යවලින් වර්ධනය වීම වෙනුවට, අලෙවි කළ හැකි ද්‍රව්‍ය මත පදනම් වූ වර්ධනයක් කෙරෙහි යොමු වුණා. වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වැඩි වශයෙන් රදා පැවැතුණේ යටිතල පහසුකම් සඳහා කෙරෙන දැවැන්ත රාජ්‍ය ආයෝජන මතයි. එමගින් ශක්තිමත් වුණේ ඉදිකිරීම් කර්මාන්තය වැනි ක්ෂේත්‍ර පමණයි. කෙසේ වෙතත් ඒ සමගම ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ අපනයන කොටස ක්‍රමිකව අඩු වුණා.
මහා ණය කන්දරාවක අභියෝගයත්, ඒ සමඟ බැඳුණු අපේ ජංගම ගිණුමේ ශේෂය හා රජයේ අයවැය යන දෙකෙහි පරතරයත් අපට උරුම වුණා. රජයේ ආදායම දිගින් දිගටම අඩුවීමත්, ඒ සමග දැඩි වියදම් ගලනයත් හේතුවෙන් දේශීය හා විදේශීය ණය මගින් අයවැය පරතරය පියවාලන්නට සිදුවුණා. 2015 දී රජයේ මුළු ආදායමින් 90.6% ක්ම වැය කළේ ණය සේවා සඳහායි. 2016 දී මේ සංඛ්‍යාව 80% ක්.
අපේ ආදායමට වඩා වියදම් වැඩි වීම සම්බන්ධව අවධානය යොමු කිරීම හදිසි අවශ්‍යතාවයක්. දේශීය ආදායම් පනත සම්මත කර ගැනීමෙන් ආදායම් උත්පාදනයෙන් මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගීමේ ක්‍රියාවලියකට මුලපුරා ඇති අතර දැනටමත් එමගින් යහපත් ප්‍රතිඵල දක්නට ලැබී තිබෙනවා.
රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇති අතර පසුගිය වසර දෙක ඇතුළත ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. 2014 දී 11.6% ක් වූ දළ දේශීය නිෂ්පාදිතය හා ආදායම අතර අනුපාතය 2016 දී 14.2% දක්වා ඉහළ ගියා. 2017 වර්ෂයේ මුල් හය මාසය ඇතුළත දළ දේශීය නිෂ්පාදිතය හා ආදයම අතර අනුපාතය 6.7% ක් වාර්තා කර තිබෙන අතර 2016 වර්ෂයේ මුල් අර්ධය තුළ ඒ අනුපාතය වූයේ 6% ක් පමණයි. දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් 79.3% ක් වන ණය බර 2020 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 70% දක්වා පහත බැස්සවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වන විට අයවැය පරතරය 3.5% ට අඩුවෙන් තබා ගැනීමට අපේක්‍ෂා කරනවා. මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අපේ කැපවීම සහතික කරමින් මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සවිබලගන්වනවා.
ඒ සියල්ල අතර, 2018 සහ 2019 අවුරුදුවල දී රාජ්‍ය ණය කළමනාකරණය හා මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සම්බන්ධව අප ඉදිරියේ අභියෝග රාශියක් තිබෙනවා.
දේශීය ණය ආයෝජන ධාරාව තුළ ප්‍රධාන වශයෙන් තිබෙන්නේ භාණ්ඩාගාර බැදුම්කරයි. ඒවායින් 30% පමණ 2019 දී කල් පිරෙනවා. ඒ හා සමානවම ඩොලර් මත පදනම්වූ දේශීය ණය ක්‍රමයක් වන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් ඩොලර් බිලියන 2.3 කට අධික ප්‍රමාණයක් 2018 දී කල් පිරෙනවා. මේ අතර විදේශීය ණය ආයෝජනවල සංයුතියත් සැලකිය යුතු මට්ටමකින් වෙනස් වුණා. ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර නිකුතුව වැනි වාණිජ ණය පසුගිය කාලයේ වැඩියෙන් ලබා ගැනීම නිසයි මේ වෙනස ඇති වුණේ. 2019 දී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කල් පිරීම් වෙනුවෙන් ඩොලර් බිලියන 1.5 ක් ගෙවීමට සිදු වෙනවා. එමෙන්ම ඉන්පසු වාර්ෂික ගෙවීමටත් සිදු වෙනවා.
රාජ්‍ය ණය ගෙවිම් සලකා බලද්දී, 2017 අගෝස්තු අග වන විට පවතින ණය ප්‍රමාණයට අනුව 2018 දී අපට රුපියල් කෝටි එක්ලක්‍ෂ අනූ හත්දහස් හාරසීයක් (බිලියන 1974 ක්) ගෙවීමට සිදුවෙනවා. 2019 දී ගෙවන්නට සිදුවන මුදල රුපියල් කෝටි එක්ලක්‍ෂ පණස් එක්දහස් පන්සියයක්. (බිලියන 1515 ක්.) 2018 සහ 2019 වසර වල අප රුපියල් කෝටි තුන්ලක්‍ෂ හාරදහසකට අධික මුදලක් ණය වශයෙන් ගෙවිය යුතුයි.
මේ පෙර නොවූ විරූ අභියෝග ජය ගැනීම සඳහා රජය නැණවත් ණය කළමනාකරණ උපක්‍රමයක් ආරම්භ කර තිබෙනවා. නව අවදානම් තත්වයන්ට සහ ව්‍යූහාත්මක හා නියාමන වෙනස්කම්වලට සරිලන පරිදි රාජ්‍ය ණය කළමනාකරණයෙහි වූ අපගේ සාම්ප්‍රදායික ප්‍රවේශයන් වෙනස් කළ යුතු වෙනවා.
අපගේ ප්‍රතිපත්ති ඉලක්ක කර ගන්නේ දූරදර්ශී හිමිකම් කළමනාකරණ උපක්‍රමයි. ඒ ඔස්සේ රජයට අවශ්‍ය අරමුදල් ගොඩනැගීම ප්‍රමාණවත් විනිවිදභාවයකින් හා පුරෝකථනයකින් යුතුව සිදු කරනවා. මධ්‍ය කාලීන ණය කළමනාකරණ ක්‍රමෝපාය යටතේ රජයේ ණය ගැනීමේ ප්‍රවේශයේ සවිස්තරාත්මක ක්‍රමෝපාය දේශීය හා විදේශීය ණය ආයෝජන ආයතන වෙත කල් තියා දැන ගැනීමට සලස්වනවා. ඊට අමතරව අවබෝධාත්මක ද්විතීය වෙළෙඳපොළ අලෙවි වේදිකාවක් සහ හිමිකම් කළමනාකරණ අරමුදලක් ද හඳුන්වා දෙනු ලබනවා. නැණවත් ණය කළමනාකරණ ක්‍රමෝපායකට අවශ්‍ය නෛතික වැඩරාමුව සම්පාදනය කරන නව හිමිකම් කළමනාකරණ පනත යටතේ මෙම ප්‍රතිසංස්කරණ හා ඉදිරි ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවනවා.
නව දේශීය ආදායම් පනත යටතේ අප විසින් සිදු කළ වෙනස්කම් ජාත්‍යන්තර ප්‍රජාවේ මෙන්ම දේශීය ආර්ථික නියෝජිතයන්ගේ ද ප්‍රසාදයට ලක් වුණා.
නව දේශීය ආදායම් පනත, විදේශ විනිමය පනත, හිමිකම් කළමනාකරණ පනත, රාජ්‍ය ව්‍යාපාරවල සංස්ථාපිත අරමුණු හා සමීප මූල්‍ය සම්බන්ධීකරණය ආදී ප්‍රතිසංස්කරණ ඔස්සේ අප මේ රටේ, ආර්ථික සම්පත් හා මුල්‍ය රාමුව ශක්තිමත් හා විචාරවත් කළමනාකරණයක් වෙත ගෙන යනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *