වගා නොකරන සියලු ඉඩම් රජයට; කෘෂි උපකරණ සියලු බදු ඉවතට – ජනපති සංග්‍රාමය අරඹයි

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කරගැනීම සඳහා ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ සඳහා තිබෙන සියලුම බදු ඉවත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ අනුව ට්‍රැක්ටර්, වතුර පොම්ප හා අනෙකුත් කෘෂි කර්මාන්තයට අවශ්‍ය උපකරණ මේ අනුව මිල ගණන් පහළ යනු ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වැඩසටහන අද(06) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැකිරාව, තිබ්බටුවැව වෙල්යාය පරිශ්‍රයේදී ආරම්භ වූ අවස්ථාවේ දී උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
ඉතිහාසය තුළ ද කෘෂිකර්මාන්තය තුළින් රට ශ්‍රේෂ්ඨත්වයට පත් වු බවත්, අනුරාධපුර යුගයේ සිට මේ දක්වා ආර්ථිකය ශක්තිමත් වුයේ දේශිය කෘෂිකර්මාන්තය මුල් කරගත් ආර්ථිකයක් ගොඩනැඟීම තුළින් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් අද වන විට ලංකාව ස්වභාවික විපත් දෙකකට මුලික වශයෙන් මුහුණ පා ඇති බවත් පවතින දැඩි නියං තත්ත්වය හා ගංවතුර ආපදා තත්ත්වය හමුවේ කෘෂි ආර්ථිකයට දැඩි ලෙස බාධා එල්ල වී ඇති බවත් කියා සිටි ජනාධිපතිවරයා, මානව ඉතිහාසයේ ආරම්භයේ සිටම මිනිසුන් ස්වභාවදර්මය හා සටන් කරමින් තම දියුණුව ළඟා කර ගත් බව ද සඳහන් කළේය.
එනිසා පවතින සියලු තත්ත්වයන් අභිබවා යමින් කෘෂි කර්මාන්තය නඟා සිටු වීමට අවශ්‍ය පහසුකම් ලබා දීමටත් ඒ තුළින් කෘෂි නිෂ්පාදන ඉහළ දැමීමටත් ආණ්ඩුවක් ලෙස නිරන්තරයෙන් කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
රජයේ සියලු ඉඩම්වල වගා කිරීම අනිවාර්ය කරමින් මේ වන විටත් අදාළ චක්‍රලේඛන නිකුත් කර ඇති බවත් කෘෂි කර්මාන්තයට අදාළ නොමැති බව පවසමින් කිසිදු අමාත්‍යාංශයකට, දෙපාර්තමේන්තුවකට හෝ සංස්ථාවකට මෙම ජාතික වැඩපිළිවෙල නොසලකා හැරිය නොහැකි බව ද කියා සිටියේය.
එමෙන්ම ගොවිජන සේවා පනත යටතේ බලතළ පාවිච්චි කරමින් වගා නොකරන පුද්ගලික ඉඩම් වෙනත් අයට ලබා දීමට කටයුතු කරන බවත්, එම නිතී ප්‍රමාණවත් නොවුණහොත් මහජන ආරක්ෂක පනත යටතේ වගා නොකරන ඉඩම් වගා කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසු ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම ආහාර නිෂ්පාද සංග්‍රාමයට සමගාමීව ගොවින්ට රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකුවලින් ලබා දිය හැකි සහන පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් පවසා සිටි ජනාධිපතිවරයා එළඹෙන 2018 වසර දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කරන බව ද සඳහන් කළේය.
එමෙන්ම කොළඹ කලඹමින් උද්ඝෝණ හා උපවාස කරමින් සිටින සියලු දෙනා රටට සැබෑ ලෙසම ආදරය කරන්නේ නම් ඔවුන්ගේ කාලය මෙම ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වෙනුවෙන් කැප කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලීමක් කර සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.