බලය බෙදීම ජනතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් පමණයි – ජනපති

බලය බෙදීම දේශපාලනඥයන් ශක්තිමත් කිරීම සඳහා නොව ජනතාව ශක්තිමත් කිරීම සඳහා වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
රටේ සියලුම ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ සහ සියලු පහසුකම් සමසේ බෙදී යන සාධාරණ සාමාජයක් බිහි කිරීම බලය බෙදීමේ අරමුණ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා බලය බෙදීමේදී රට නොබෙදෙන විසැඳුමකට යන බව තමා පැහැදිලිවම ජනතාවට පවසා ඇතැයි ද සඳහන් කළේය.
බලය බෙදීමට විරුද්ධ වන අය උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ගොස් බස්නාහිර ප්‍රදේශයේ තිබෙන සංවර්ධනය එම ප්‍රදේශවල ඇති දැයි සිය දෑස්වලින්ම බැලිය යුතු බවද ජනාධිපතිවරයා පැවසිය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේ වව්නියාව සෛවප්‍රගාස බාලිකා විද්‍යාලයේදි පෙරේදා (21) පැවති වවුනියා දිස්ත්‍රික් නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩ සටහනේ සමාප්ති උත්සවයට සහභාගි වෙමිනි. රටේ සංවර්ධන ක්‍රියාවලිය සිදු කරන ගමන් දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියද සිදු කිරිමට රජය කැප වී සිටින බව කී ජනාධිපතිවරයා එසේ කිරීමේදී ඒ සඳහා විරෝධතා එල්ල වන බවද කීය.
මේ ප්‍රශ්නයට විරුද්ධව කතා කරන සෑම දෙනාම මේ ප්‍රශ්නයේ අසීරුකම සහ යථාර්ථය දැකිය යුතු බවද ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා නොදුන් හොත් අනාගතයේ සිදු වන ප්‍රශ්නවලට ඔවුන් වගකිව යුතු බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.
ව්වේචන, උද්ඝෝෂණ, විරෝධතා පවත් වන අය ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනිමට යෝජනා ඉදිරිපත් කර නැතැයිද රජය ඉදිරිපත් කරන යෝජනාවලට විරුද්ධ නම් දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන්නැයි තමා ඒ අයගෙන් ඉල්ලීමක් කරන බවද ජනාධිපතිවරයා පැවසිය.
තවම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දළ කෙටුම්පතක්වත් සාදා නැතැයි අවධාරණය කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එක් ඒක් දේශපාලන පක්ෂවල මත ඇතුළත් වාර්තාවේ කරුණු ගැන සාකච්ජා කළ කර සුදුසු නැති දේ ඇති නම් ඉවත් කර සංශෝධනය කළ හැකි බවද පැවසිය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *