දුර්වලතා අවම කරමින් ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනඟනවා – ජනපති කියයි

රාජ්‍ය සේවයේ පවතින දුර්වලතා අවම කරමින් බිඳවැටුණු රාජ්‍ය සේවය නැවතත් නගාසිටුවීම සඳහා රජය කැපවෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
දශක ගණනාවකට පෙර වඩා ඵලදායී ශක්තිමත් රාජ්‍ය සේවයක් මෙරටේ පැවති බවත් පසුකාලීනව දේශපාලන මැදිහත්වීම මත රාජ්‍ය සේවය කඩා වැටුණු බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ඇගයීම් වැඩසටහනේ ප්‍රතිඵල අනුව පවත්වනු ලැබූ ජාතික සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි.
2015 මුදල් වර්ෂයට අදාළව පාර්ලිමේන්තුවේ පරිගණක ජාලගත තොරතුරු ‍පද්ධතිය මගින් දිවයින පුරා විසිරී තිබෙන සියලුම රාජ්‍ය ආයතන 842කින් ලබාගත් තොරතුරු ඇගයීමෙන් අනතුරුව විවිධ කාණ්ඩ යටතේ තෝරාගනු ලැබූ අදාළ වර්ෂයේදී උසස් කාර්යසාධනයක් පෙන්නුම් කරන ලද ආයතන 81ක් සඳහා මෙම ජාතික සම්මාන පිරිනැමිණි.
වර්තමාන රජය යටතේ ස්වාධීනව, අ‍පක්ෂපාතීව කටයුතු කිරීමට සියලු දෙනාට හැකියාව ලැබී තිබෙන බවත් මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය මගින් එය තවදුරටත් සනාථ වන බවත් සඳහන් කළ ජනාධිපතිතුමා මෙවැනි සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වීම පිළිබඳව සියලු දෙනා වෙත සිය කෘතවේදීත්වය පළකළේය.
එමෙන්ම වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව වංචා, දූෂණ, අක්‍රමිකතා සිදුකරන්නට රට තුළ බියක් ඇතිවී තිබෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවයේ පවතින දුර්වලතා අවම කරමින් ශක්තිමත් රාජ්‍ය සේවාවක් ඇති කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙවැනි සම්මාන උත්සව, රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට දායක වන බව ද සඳහන් ‍කළේය. මෙහිදී 2015 වර්ෂයේ මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගතවීම හා කාර්යය සාධනය පිළිබඳ විශිෂ්ට ප්‍රතිඵල පෙන්වූ ආයතන සඳහා රන් සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුවිය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න, විගණකාධිපති ගාමිණී විජේසිංහ, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් ‍එක්ව සිටියහ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.