අගමැතිවරයකු පවා ජනාධිපති කොමිසමකට ගෙන ආවේ යහපාලනය නිසයි – සන්ධාන මහලේකම්

යහපාලන ආණ්‌ඩුවක්‌ තිබෙන නිසා අගමැතිවරයකු පවා ජනාධිපති කොමිසම හමුවට ගෙනයැමට හැකිවූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අගමැතිවරයකු මෙවැනි කොමිසමකට ගොස්‌ කරුණු ඉදිරිපත් කළේ ප්‍රථම වතාවට බවත් එය රටට හොඳ ආදර්ශයක්‌ බව ද අමරවීර මහතා පැවසීය. ලෝක ධීවර දිනය 21 දාට යෙදීම නිමිත්තෙන් ධීවර අමාත්‍යාංශය, නාරා ආයතනය හා ධීවර දෙපාර්තමේන්තුව එක්‌ව මීගමුව පළඟතුරේ හා කුට්‌ටිදූව ප්‍රදේශවලදී පැවැති උත්සවයකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී ධීවර පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීම, පළඟතුරේදී ප්‍රතිසංස්‌කරණය කරන ලද ධීවර ප්‍රජා සමිති ශාලාව හා පුස්‌තකාලය ජනතා අයිතියට පත්කිරීම ද ඇමැතිවරයා අතින් සිදුවිය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඇමැතිවරයා මෙසේ අදහස්‌ දැක්‌වීය.
මාධ්‍යවේදීන් – දැන් මේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හෙළිදරව් වන කරුණු ගැන ඔබතුමා මොකද කියන්නෙ? අමාත්‍යවරයා – මම තමයි මේ බැඳුම්කර වංචාව ගැන මුලින් 2015 මාර්තු මාසයේදී අල්ලස්‌ හා දූෂණ කොමිසමට පැමිණිලි කළේ. අද නම් අයිතිකාරයෝ ගොඩක්‌ ඉන්නවා. ඒ කොහොම වුණත් මේ වංචාව ගැන සොයන්න අපේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලගතු කොමිසමක්‌ පත්කළා. අද ඒ කොමිසම හරහා තොරතුරු රැසක්‌ හෙළිදරව් වී තිබෙනවා. මහජන දේපළ කවුරු වුණත් හොරකම් කරනවා නම් ඒ අයට දඬුවම් දිය යුතුයි. ඒක තමයි මේ කොමිසම හරහා හෙළිදරව් වෙන්නේ.
මාධ්‍යවේදීන් – අර්ජුන් ඇලෝසියස්‌ මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් දීලා තියෙනවා නේ?
අමාත්‍යවරයා – ඔව් එහෙම කරුණු හෙළිදරව් වෙලා තියෙනවා.
මාධ්‍යවේදීන් – ඔබතුමාත් ප්‍රබල ඇමැතිවරයෙක්‌ නේ.. ඔබතුමාට ටෙලිෙෆෝන් කෝල් කීයක්‌ ආවාද?
අමාත්‍යවරයා – මට නම් එක කෝල් එකක්‌වත් ආවේ නැහැ. මම දුන්නෙත් නැහැ. මට දෙන්න ඕනෑකමකුත් නැහැ. අනෙක්‌ කාරණය ටෙලිෙෆෝන් කෝල් දෙක තුනක්‌ ආවා කියලා මං හිතන්නැහැ එය මහ ලොකු කාරණයක්‌ කියලා. මොකද ඇමැතිවරුන්ට බොහෝ අය කතා කරනවා. නමුත් වැදගත්ම දේ තමයි මොනවද කතා කළේ කියන එක. ඒක තමයි හොයලා බලන්න ඕනෑ.
මාධ්‍යවේදීන් – ආණ්‌ඩුව මන්ත්‍රීවරුන්ගේ දුරකථන ටැප් කරනවා කියලා චෝදනාවක්‌ තියෙනවා?
ඇමැතිවරයා -ඔව් ඒක බොරුවක්‌ වගේම වරදවා වටහාගැනීමක්‌. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ වගේ පහත් දේවල් කරන්න උපදෙස්‌ දෙන කෙනෙක්‌ නෙමෙයි. ඒ වගේම එතුමා ළඟ සිල්ලර දේශපාලන වැඩ නැහැ. මන්ත්‍රීවරුන්ගේ දුරකථන ඇමතුම් ආණ්‌ඩුව ටැප් කරනවා කියන එක සම්පූර්ණයෙන්ම බොරුවක්‌ බව මම වගකීමෙන් කියනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.