ජනපති විවේචනය කළ එජාප මන්ත්‍රීන්ට අගමැතිගෙන් ප්‍රහාරයක්!

දේශපාලනයේ දී වගකීමෙන් ක්‍රියා කරන ලෙසත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව විවේචනය නොකරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඊයේ (27) දැඩි ලෙස අවවාද කර ඇත.
සම්මුතිවාදී ජාතික රජයේ පවතින එකඟතාවයන්ට හානිවන අයුරින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසද අගමැති වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබේ. අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (27) සවස පැවැති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. තමන් ඉන්දීය නිල සංචාරයේ යෙදී සිටිද්දී එජාප මන්ත්‍රීවරුන් පැවැත්වූ මාධ්‍ය හමු කිහිපයක් පිළිබඳ තම අවධානය යොමු කළ බව කී අගමැතිවරයා මින් ඉදිරියට තම අනුමැතියෙන් තොරව මෙවැනි මාධ්‍ය හමු නොපවත්වන ලෙසද දැනුම්දී තිබේ. ඉන්දියාවේ සංචාරය නිම කර දිවයිනට පැමිණීමෙන් පසු තමා ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කළ බවද ඒකාබද්ධ විපක්ෂය සමඟ ශ්‍රීලනිපය කරන සාකච්ඡා තමන්ට වැළැක්විය නොහැකි බවත් එසේ කළහොත් සිය පක්ෂය කැඩූ නායකයකු ලෙස දෝෂ දර්ශනයට ලක්වන බව ජනාධිපතිවරයා තමා සමඟ පැවසුවේයැයි අගමැතිවරයා පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට පවසා තිබේ.
ඒකාබද්ධ විපක්ෂය ශ්‍රීලනිපය සමඟ එකතු වන්නේ නම් එය ප්‍රශ්නයක් කර නොගෙන ඉදිරි මැතිවරණවලදී එජාප ජයග්‍රහණය කළයුතු බව මෙහිදී අවධාරණය කළ අගමැති වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් සිය මන්ත්‍රී කණ්ඩායම සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *