මැණික් ව්‍යාපාරිකයන්ගේ ගැටලුවලට ජනපතිගෙන් සහන

මැණික් ව්‍යාපාරිකයන්ගේ හා මැණික් පතල්කරුවන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
මැණික් ව්‍යාපාරිකයන් සහ මැණික් පතල්කරුවන් සිය කටයුතු කරගෙන යාමේ දී මුහුණ දී ඇති ගැටලු පිළිබඳ මෙහි දී දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කෙරිණි.
නීත්‍යානුකූල බලපත්‍ර සහිත මැණික් පතල් කැණීමේ කටයුතුවල දී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නොවන පිරිස් පතල් පරිශ්‍රවලට කඩාවැදී බලපත්‍ර පරික්ෂා කිරීම හා අත්අඩංගුවට ගැනීම් හේතුකොටගෙන මතුව ඇති අපහසුතා පිළිබඳ මෙහි දී ඔවුන් ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කළ අතර, ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේ මැණික් පතල් වැටලීමේ දී මැණික් සංස්ථාවේ නිලධාරින් සමඟ පමණක් අදාළ වැටලීම් සිදුකරන ලෙසයි.
එහි දී නීත්‍යනුකූලව එම කටයුතුවල නිරතවන පිරිස්වලට බාධාවක් ඇතිනොවන අයුරින් එම පරික්ෂා කිරීම් සිදුකළයුතු බවට ද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.
එමෙන්ම උදෑසන 6.00 සිට ප.ව 6.00 දක්වා පමණක් පතල් කැණීම් සිදුකරන ලෙස දැන්වීම නිසා කර්මාන්තය පවත්වාගෙන යාමේ දී දුෂ්කරතා මතුව ඇති බව කර්මාන්තකරුවෝ පෙන්වා දුන්හ. පතල්වල වතුර ඉසීම අළුයම 2.00ට පමණ ආරම්භ කළයුතුව ඇති අතර, පතල්වල දෝනා කඩාවැටීම් නැවැත්වීමට දිවා රාත්‍රි නඩත්තු කටයුතු සිදුකළ යුතු බව ද පෙන්වා දීමෙන් අනතුරුව මේ පිළිබඳ පනවා ඇති නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දෙන ලදී.
එමෙන්ම පතල් බලපත්‍ර නිකුත් කිරීම ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳ ද මොවුන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, බලපත්‍ර නිකුත් කිරීමේ දී විධිමත් මෙන්ම කාර්යක්ෂම වැඩපිළිවෙළක් අනුගමනය කිරීමටත්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහ අදාළ අනිකුත් ආයතනවල අනුමැතිය සතියක් තුළ ලබාදීමටත් ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මැණික් අපනයනකරුවන් වෙත නව අයවැයෙන් පනවා ඇති 14%ක නව බදු මුදල පිළිබඳ කළ ඉල්ලීම කෙරෙහි ද මෙහි දී අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ ඊළග කැබිනට් මණ්ඩලයේ දී තීරණයක් ගන්නා බව ප්‍රකාශ කළේය.
යාන්ත්‍රිකව පතල් කැණීම් සඳහා තෝරාගත් ස්ථානවලට අවසර ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳ ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.
බැකෝ යන්ත්‍ර යොදා මැණික් පතල් කැණීම සීමා කිරීමට, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කරන ස්ථානවලට පමණක් මෙම යන්ත්‍ර යෙදවීමට අවසර ලබාදීමටත්, එහි අධීක්ෂණය මැණික් සංස්ථාව මගින් සිදු කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
එමෙන්ම තම සංගමය විසින් පසුගියදා භාරදෙන ලද යෝජනාවලියේ කරුණු ක්‍රියාත්මක නොවීම පිළිබඳ ද මෙහි දී නියෝජිතයන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, එම යෝජනාවලියට අදාළව දැනට ක්‍රියාත්මක කර ඇති කරුණු සහ ක්‍රියාත්මක කළ නොහැකි කරුණු පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත තමා වෙත භාරදෙන ලෙස ජනාධිපතිවරයා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දෙනු ලැබීය.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පරිසර සංරක්ෂණය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කිරීම මැණික් කර්මාන්තකරුවන්ගේ වගකීම බවයි. පසුගියදා දිස්ත්‍රික්ක ගණනාවකට බලපෑ ගංවතුර තත්ත්වයට එක් හේතුවක් වූයේ පතල් කැණීම් සහ එම ප්‍රදේශ සංරක්ෂණය නොකිරීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අදාළ දිස්ත්‍රික්ක තුළ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමට ද අනවසර පතල් කැණීම් එක් හේතුවක් වී ඇති බව කියා සිටියේය. මැණික් කර්මාන්තයේ කටයුතු කරන සියලුදෙනාගේ උන්නතිය වෙනුවෙන් රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටට විදේශ විනිමය උපයාදීමට ඔවුන් ඉටුකරන මෙහෙය ද ඇගයීමට ලක්කළේය.
මැණික් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ මෙහි දී මෙම ව්‍යාපාරිකයෝ අදහස් සහ යෝජනා රැසක් ඉදිරිපත් කළහ.අමාත්‍යවරුන් වන ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, තලතා අතුකෝරාළ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ඩී.එම්.ඩී.ඕ.කේ. දිසානායක යන මහත්වරුන් ද මැණික් කර්මාන්තකරුවන්ගේ හා ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *