ආන්දෝලනාත්මක බැඳුම්කර වාර්තාව ජනපති අතට; ජනපතිගෙන් නීතිපති අතට!

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදී තිබේ.
අද දහවල් ජනාධිපති කාර්යාලයේදී අදාළ වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා විසින් ජනාධිපතිවරයා වෙත බාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ප්‍රශ්නගත භාණ්ඩාගාර නිකුතුව පිළිබඳ විමර්ශන සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ජනවාරි මස 27 වනදා මෙම කොමිසම පත් කරනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතාට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න සුජීව ජයවර්ධන හා විශ්‍රාමික නියෝජ්‍ය විගනකාධිපති කන්දසාමි වෙලුපිල්ලේ යන මහත්වරුන් කටයුතු කළේය.
මාස 03ක කාලයක් සඳහා එම කොමිසම පත් කළ ද එහි කටයුතු අවසන් කිරීමට නොහැකිවීම හේතුවෙන් අවස්ථා දෙකදී කොමිසමේ කාලය මාස 03 බැඟින් දීර්ඝ කෙරුණු අතර පසුගිය ඔක්තෝබර් මස 27 වනදා කොමිසමේ කාලය අවසන්වීමට නියමිතව තිබුණි.
එහෙත් ජනාධිපතිවරයාගේ නියමය පරිදි ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා ඔක්තෝබර් මස 27 වනදා කොමිසමේ කාලය සති 06කින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
කෙසේවෙතත් කොමිසමේ සාක්ෂි විමසීම් කටයුතු ඔක්තෝබර් 17 වනදා අවසන් කෙරුණු අතර ඉන් අනතුරුව වාර්තාව සකස් කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය.
මෙම බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත බාරදීමට නියමිත බව වාර්තා වෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.