මුදල් යොදවන්න කිසිම ගිවිසුමක් නැති වුවත් විමර්ශන අරඹද්දී මුදලින් කොටසක් ආපසු ගෙවලා

වීරකැටිය, මැදමුලන, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපන සහ සංස්කෘතික පදනමට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුදල් යෙදවීමේදී සංස්ථාව සමග වාචික හෝ ලිඛිත කිසිදු ආකාරයක ගිවිසුමක් ඇති කරගෙන නැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
ඒ පිළිබඳ විමර්ශන ආරම්භ වූ වහාම එකී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් ලබාගත් මුදලින් කොටසක් නැවත ගෙවීමට කටයුතු කර ඇතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කෙළේය.
එකී ඉදිකිරීම් සඳහා නාවික හමුදා සෙබළුන් යොදවා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයෙන් නාවික හමුදාපතිවරයාට කළ දැනුම්දීමක් මත බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද හෙතෙම කීය.
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරී‍මේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදවා ගැනීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ පියවර ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකර ඇති රිට් පෙත්සම පවත්වාගෙන යාමේ හැකියාවක් නැති බැවින් එය විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ඉවත දමන ලෙස නීතිපතිවරයා ඊයේ (15) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම පෙත්සම කරුණු වසන් කරමින් ඉදිරිපත් කර ඇති අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස කිසිදු ඉල්ලීමක් එමඟින් කර නැතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කෙළේය.
එවැනි අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධ නියෝගයක් ලබාගැනීම සඳහා නම් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු බව කී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මේ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නැති බවත්, පෙත්සම පවත්වාගෙන යාමේ හැකියාවක් නැති බවත් හෙතෙම කීය.
මේ ඉදිකිරීම සම්බන්ධයෙන් ඉකුත් 2015 වසරේ මැයි මස විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව ලබාගත් මුදල් කොටසක් ආපසු 2015 අගෝස්තු මාසයේදී ගෙවීමට කටයුතු කර ඇති බවත්, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කෙළේය. එම විමර්ශන අවසන් අදියරේ පවතින බව දැනගත් විගස රිට් පෙත්සමක් අධිකරණයට පැමිණ සිටින හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණයට කරුණු වසන් කර ඇති බව ද ඔවුන්ගේ කුමන්ත්‍රණ අද වන තෙක්ම ක්‍රියාත්මක බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කීය.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයා ‍සහතිකයක් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ 2015 වසරේදී වන අතර වසර දෙකක් ඉක්ම යන තෙක්ම එය අභියෝගයට ලක් කිරීමට ඔහු කටයුතු කර නැති බව හෙතෙම කීය.
එසේම තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස පෙත්සම්කරු මේ පෙත්සම මඟින් අධිකරණයෙන් කිසිදු ආකාරයක ඉල්ලීමක් කර නැතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කීය. පොදු දේපළ පනත යටතේ තමන්ට එරෙහිව කටයුතු නොකරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මේ පෙත්සම කැඳවන ලදී.
අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඊයේ (15) දෙපාර්ශ්වය විසින් කරුණු ඉදිරිපත් කරන ලදී. ඒ පිළිබඳ වැඩිදුර විභාගය ජනවාරි මස 25 දින සිදුකිරීමට නියම කළ අභියාචනාධිකරණය වීරකැටිය, මැදමුලන, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ලබන වසරේ ජනවාරි මස 25 වැනිදා තෙක් බලපවත්වන ‍පරිදි දීර්ඝ කිරීමට ඊයේ (15) තීරණය කෙළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *