ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගෙන් මෙන්ම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් සමන්විත මෙම කමිටුව සිය වාර්තාව මාස 03 ක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කළයුතු බවට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීය. ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වැටුප් සහ දීමනා පිළිබඳ ගැටලුව මෙහිදී විශේෂ අවධානයට යොමු කෙරුණු අතර මාධ්‍යකරණයේදී ඔවුන් මුහුණ පා ඇති සෙසු ගැටලු පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
එමෙන්ම පසුගියදා පැවති මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ හය වන නියෝජිත සමුළුවේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද සංදේශයේ ඇතුළත් කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය. රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් සුදර්ශණ ගුණවර්ධන, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති කරුණාරත්න ගමගේ, ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි යන මහත්වරුන් ඇතුළු එහි නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.