මගෙන් පසු පක්‍ෂය මගේ පවුලට නොව ඔබටයි – ජනපතිගෙන් ඓතිහාසික කථාවක්

දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලනයක්‌ ගැන අද හැම දෙනාම කතා කළත් මේ රට ගොඩනගන්න තිබෙන ප්‍රධානම බාධකය රටේ පිරිසිදු දේශපාලනයක්‌ නොමැතිවීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය.
එජනිසය යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් දැනුවත් කිරීම සහ ඔවුන්ට අදාළ පත්වීම් ලිපි ලබාදීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ (29) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා එසේ කීය.
එහිදී තව දුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
ශ්‍රීලනිපයට, එජනිසයට මෙය ඓතිහාසික අවස්‌ථාවක්‌. පෙබරවාරි 10 වැනිදායින් පසු ඔබ භාර ගන්නේ ගම, නගරය, රට පමණක්‌ නොවේ ශ්‍රීලනිපයත් ඔබ භාර ගන්නවා. එහි නායකත්වය ඔබ භාර ගන්නවා. ඔබ එදාට පළාත් පාලන නියෝජිතයෝ වෙනවා පමණක්‌ නොවේ අනාගතයේදී කැබිනට්‌ ඇමැතිවරු බවටත් පත් වෙනවා.
රටේ භෞතික සම්පත් සංවර්ධනයට පමණක්‌ නොව යහපත් දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කිරීමටයි ඔබ අද එක්‌ වී සිටින්නේ. ඔබට අනිවාර්යයෙන් ජයග්‍රහණය ලබන්න පුළුවන්.
රුසියාව අපේ තේ මිලදී ගැනීම නතර කළා. මාධ්‍යය ප්‍රවෘත්ති නිර්මාණය කළා ආණ්‌ඩුවේ විදෙස්‌ ප්‍රතිපත්තිය නිසා ඒ දෙය සිදු වුණා යෑයි විරුද්ධවාදීන් කිව්වා. රුසියානු ජනාධිපති පුටින්ට මං ලිපියක්‌ මගින් ඒ බව දැනුම් දුන්නා. ඉන් තේ තහනමේ නීති වෙනස්‌ වුණා.
ඒ වගේම පොහොර ප්‍රශ්නයක්‌ ආවා. මම පකිස්‌තාන අගමැති ෂෙරීµaට දුරකථන පණිවිඩයක්‌ දුන්නා. පොහොර ප්‍රශ්නයක්‌ තිබෙනවා ඊට උදව් කරන ලෙස ඔහුට කිව්වා. පොහොර මෙටි්‍රක්‌ ටොන් 40000 ක්‌ වහාම ලංකාවට ලබා දෙන්න ඔවුන් තීරණය කළා.
මම කටාර්වලට ගොස්‌ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වලා ආවා. කටාර් එමීර්තුමා ලංකාවේ නගරයක්‌ සම්පූර්ණයෙන් හැදීමට භාර ගත්ත බවට එතුමා මට ලිපියකින් දැනුම් දුන්නා.
මේ වගේ ලැයිස්‌තුවක්‌ මට කියන්න පුළුවන්. අපි කරේ මොනවද කියලා අහන අයට දෙන්න පුළුවන් පිළිතුරු ඊටත් වැඩියි.
මේ රට සංවර්ධනය කරන්න ඔබේ කැපවීම අවශ්‍යයි. ඔබ ශ්‍රීලනිපය ගැන, රට ගැන කතා කරන්න. ඒත් ප්‍රතිවාදියා විවේචනය නොකරන්න. ගෙයින් ගෙට ගොස්‌ අනාගත සංවර්ධන සැලැස්‌ම කතා කරන්න. එය අවවාදයක්‌ වගේම ජයග්‍රහණයට දෙන ස්‌ථිර මාවතක්‌.
ශ්‍රීලනිපය ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට අදාළ පසුබිම සකස්‌වෙලා අවසන්. අනෙක්‌ ප්‍රතිවාදී පක්‍ෂවල ඇති වී තිබෙන කැඩීම්, බිඳීම් වියවුල් අලුත් දෙයක්‌ නොවේ.
අපේ පක්‍ෂය වටා මධ්‍යස්‌ථ මතධාරීන් එක්‌වී සිටිනවා. උගතුන්ගේ වියතුන්ගේ සහාය අපට ලැබී තිබෙනවා. අපි හොඳ අපේක්‍ෂකයන් ඉදිරිපත් කර තිබෙනවා. කාන්තා නියෝජනය වැඩිකර තිබෙනවා. මේ රට මවුවරුන්ට, උගතුන්ට, තරුණයන්ට භාර දෙන්න කටයුතු කරනවා.
මේ රටේ කිසිදු ජනාධිපතිවරයකුට, අගමැතිවරයකුට, ඇමැතිවරයකුට පෞද්ගලික න්‍යාය පත්‍රයන් තබාගන්න බැහැ. ඔවුන්ට තිබිය යුත්තේ ජාතික න්‍යාය පත්‍රයයි. මාතෘ භූමිය පිළිබඳ න්‍යාය පත්‍රයයි.
මම බලාපොරොත්තු වෙන්නේ හොඳට පොත පත කියවන, පන්සල්, පල්ලි, කෝවිල් යන දේශපාලනඥයන්.
මේ රට ගොඩනගන්න තිබෙන ලොකුම බාධකය දේශපාලකයන් වැඩි පිරිසක්‌ දූෂිතයන් වීමයි· දූෂණයෙන් තොර, පිරිසිදු දේශපාලනයක්‌ ගැන අද හැමෝම කතා කරන්නේ රටේ එවැනි දෙයක්‌ නැති නිසයි.
පෙබරවාරි 10 වැනිදාට අපි ඒ ගමන අවසන් කරමු. මේ පක්‍ෂයේ මගේ සභාපති ධුරයෙන් පසුව එතනට පත් වෙන්නේ මගේ පවුලේ කෙනකු නොවේ. ඒ අවස්‌ථාව දෙන්නේ ඔබටයි.
බාධක කම්කටොළු මැඩගෙන ඔබ ජයග්‍රහණයේ මාවතට යන්න. ජනතාවාදී වෙන්න. මිනිසුන්ගේ ඇස්‌වල කඳුළු දකින්න. මිනිසුන්ට රටට ආදරය කරන දේශපාලනඥයකු වන්න. බලයෙන් උම්මත්තක වන දේශපාලනඥයකු නොවන්න.·
මේ රට සංවර්ධනය කරන්න අධ්‍යාත්මික සංවර්ධනයක්‌ අවශ්‍යයි. එය ඔබට තිබෙනවා. ඊට අවශ්‍ය මග පෙන්වීම අපි ඔබට ලබා දෙනවා.
එජනිස මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා –
ඉදිරි මැතිවරණය ප්‍රකාශයට පත් කරන ලද අවස්‌ථාවේදී අපිට අපේක්‍ෂකයන් හෝ සොයා ගන්න බැරි වනු ඇතැයි ඇතැමුන් අපට කිව්වා. ඒත් අන්තිමට අපේක්‍ෂකයන් අතර තරගයක්‌ ඇති වුණා ශ්‍රීලනිප අපේක්‍ෂකත්වය ලබාගැනීමට. එයින් පෙනෙනවා අපි මේ මැතිවරණය පටන් ගත්ත තැන නොවෙයි අපි අද ඉන්නේ.
පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීමට අපිට කාගේවත් සහයෝගයක්‌ අවශ්‍ය නැහැ. අපිට තනියම ඒ වැඩේ කරන්න පුළුවන්. ශ්‍රීලනිප අපේක්‍ෂකයන්ට තිබෙන චරිත සහතිකය වෙන කිසිදු අපේක්‍ෂකයකුට නැහැ. ඔබේ වැදගත්කම අනෙක්‌ අපේක්‍ෂකයන්ගේ වත්කම්වලට වඩා වටිනවා. ආණ්‌ඩුව නිවැරැදි මගට ගෙනියන නායකයකු ඔබට සිටිනවා. කාන්තා නියෝජනය වැඩි කිරීමට ද කටයුතු කළේ ශ්‍රීලනිපය බව අපි අභිමානයෙන් කියනවා. එය අපේ පක්‍ෂයේ උත්සාහයෙන් ලබාගත් ජයග්‍රහණයක්‌. අනවශ්‍ය වියදම් වලින්, පොලිතීන් වලින් තොර මැතිවරණයක්‌ බවට මෙවර මැතිවරණය පත්කර ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.
කටවුට්‌, පෝස්‌ටර් ප්‍රදර්ශනය කරන්න මෙවර අවස්‌ථාව නැහැ. ඒත් ඔබේ මැතිවරණ කාර්යාලයේ අභිමානයෙන් යුතුව ඔබට ඔබේ නායකයාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කරන්න පුළුවන්. බය නැතිව ඒ පිංතූරය ඔබ ප්‍රදර්ශනයට තබන්න. ඔහු නොකිළිටි නායකයෙක්‌.
වැලි, ගල්, බස්‌, ෂෙඩ් බලපත්‍ර ගන්න තමයි එදා පළාත් පාලනයට අපේක්‍ෂකයෝ තරග කළේ. අපි අද ඒ තත්ත්වය වෙනස්‌ කරන්න ඕන. කොට්‌ඨාස හෝ ලැයිස්‌තු වශයෙන් වෙන්කර ගන්න එපා. ඔබ තරග කරන්නේ පිරිසිදු දේශපාලනයක්‌ ජයග්‍රහණය කරවීමටයි.
ඉදිරි ආණ්‌ඩුව අපේ ආණ්‌ඩුවක්‌. ඒ ආණ්‌ඩුව පිරිසිදුයි වගේම අපේ පක්‍ෂයත් පිරිසිදුයි. පිරිසිදු පක්‍ෂයක අයිතිකරුවන් බවට ඔබ පත් වෙන්න. 2020 අපි හදන ශ්‍රීලනිප ආණ්‌ඩුවේ ගමනට අත්තිවාරමක්‌ තමයි අපි අද මේ ගොඩනඟන්නේ. ඊට පළමු පියවර අපි අද මෙසේ තබමු. මේ මැතිවරණයේදී එජනිසයේ ජයග්‍රහණය ස්‌ථිරයි. ඒ පිළිබඳව බියක්‌ ඇතිකර ගන්න එපා.
ශ්‍රීලනිප මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා
එජනිසයට, ශ්‍රීලනිපයට අද සුවිශේෂී දිනයක්‌. ඉතිහාසයේ ප්‍රථම වතාවට එම පක්‍ෂ යටතේ තරග කරන සියලු අපේක්‍ෂකයන් අද රට ඉදිරියේ යහපත් පොරොන්දුවක්‌ ලබා දුන්නා.
රටේ අලුත් ගමනක්‌ යන්න අලුත් දේශපාලන පිටුවක්‌ අද පෙරළලා තිබෙනවා. නොකිළිටි, පිරිසිදු දේශපාලනඥයන් අද සමාජය ඉල්ලා සිටිනවා. ඒ අපේක්‍ෂකයන් අද අප වටා එක්‌රොක්‌ වී තිබෙනවා.
සමහර දේශපාලන පක්‍ෂවලට තමන්ගේ කොට්‌ඨාසයට යන්න බැහැ. ඒත් ජනපතිවරයාට තිබෙන ගෞරවනීය පිළිගැනීම කැටිව ඔබට ගමට යන්න පුළුවන්. 2018 හදන පළාත් පාලන ආයතනවල ආයු කාලය නිමා වන තෙක්‌ම රටේ පාලකයා වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි.
මේ ස්‌ථානයට ඒකරාශී වී සිටින ඔබ සැමගේ අධිෂ්ඨානය 2020 වසරේදී තනි ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ පිහිටුවීම බව අපි දන්නවා. ඒ අරමුණට යැමට අවශ්‍ය ශක්‌තිය ඔබට, අපට තිබෙනවා.
ගමේ හැම සංවර්ධනයක්‌ම සිදුකර තිබෙන්නේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධාන ආණ්‌ඩු යටතේ බව අමතක කරන්න එපා. ඒ නිසා ඉතිරි වැඩ කොටස කරන්නත් බලය ලබාදිය යුත්තේ ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිසයට තමයි. ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ගමට ගොස්‌ ඒ කාර්යයන් ඉටුකිරීමට අවශ්‍ය ශක්‌තිය ඔබට තිබෙනවා.
ශ්‍රීලනිප භාණ්‌ඩාගාරික සමාජ සවිබල ගැන්වීම් හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්‌. බී. දිසානායක මහතා
වසර 48 කට පසුව අද ආසන ඡන්දයක්‌ රටට ලැබී තිබෙනවා. එජාපය, මුස්‌ලිම් කොංග්‍රසය ඊට විරුද්ධ වුණා. ඔවුන් මනාප ක්‍රමය තියා ගන්න දැඟළුවා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාත් එතනට ආපහු යන්න දැඟළුවා. ඒත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආසන ක්‍රමය රටට අවශ්‍ය බව තදින්ම කියා සිටියා. එහි ප්‍රතිඵලය තමයි අද ඔබ භුක්‌ති විඳින්නේ.
එජනිසයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප හිටපු මහ ලේකම් අනුර ප්‍රියදර්ශන, හිටපු අගමැති දි.මු. ජයරත්න, තොන්ඩමන් ඇමැතිවරයාගේ පක්‍ෂය, ඩග්ලස්‌ දේවානන්ද මහතාගේ පක්‍ෂය ආදී සියලු දෙනා එජනිසය සමඟ තවමත් ඉන්නවා.
වත්මන් ජනපතිවරයා එදා පොදු අපේක්‍ෂකයා ලෙස මරණය පෙනි පෙනී මැතිවරණයට ගියේ හොරු නැති ආණ්‌ඩුවක්‌ හදන්නයි. ඒ නිසා ජනාධිපතිවරයාට වගකීමක්‌ තිබෙනවා එහෙම හදපු ආණ්‌ඩුවේ හොරු ඉන්නවා නම් ඒ හොරුන්ව එළවීමට. මහ බැංකු බැඳුම්කර චෝදනාවට වරදකරුවන් කවුද කියලා අද රටටම හෙළි වෙන්න යනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *