විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ දීමනා හා වරප්‍රසාද දිනා දීමට ජනපති සැරසෙයි

රාජ්‍ය සේවයේ සියලු විශ්‍රාමිකයන්ගේ ගැටලු නිරාකරණය කර දී ඔවුන්ගේ දීමනා හා වරප්‍රසාද දිනා දීමට ඉදිරි සතිය තුළ අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි
ජනාධිපතිවරයා එ බව පැවසූවේ ඊයේ (17) හපුතලේ නගරයේ පැවැති පළාත් පාලන මැතිවරණයේ පළමු ජන හමුව අමතමිනි. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ජන හමුව ලෙස ලංකා වතු කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් සෙන්දිල් තොණ්ඩමන් මහතා මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.
තේ සම්බන්ධ ගැටලුව පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා අමාත්‍යවරුන් වන නවීන් දිසානායක සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ නියෝජිත කණ්ඩායමක් රුසියාව බලා පිටත්කර යවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම ඒ පිළිබඳ රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතාගෙන් තමා විශේෂ ඉල්ලීමක් සිදු කරන බව ද සඳහන් කළ ජනාධිපතිතුමා මිත්‍ර රාජ්‍යයක් ලෙස ඔවුන්ගේ සහය ශ්‍රී ලංකාවට හිමි වනු ඇති බවත් එබැවින් මේ පිළිබඳව තේ කර්මාන්තයේ නිරත කිසිවකු අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවත් සඳහන් කළේය.
එමෙන්ම විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරින්ගේ සංගම් කිහිපයක් විසින් අද දින පුවපත්වල පළ කර තිබූ ලිපි කිහිපයක් පිළිබඳව ද මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රාජ්‍ය සේවයේ සියලූ විශ්‍රාමිකයන්ගේ ගැටලූ නිරාකරණය කර දී ඔවුන්ගේ දීමනා හා වරප්‍රසාද දිනාදීමට ඉදිරි සතිය තුළ දී අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවයි.
මෙවර මැතිවරණ ව්‍යාපාරයේ තම පළමු ජන හමුව රටේ වැඩ කරන ජනතාව සමඟ පැවැත්වීමට හැකි වීම පිළිබදව ද ජනාධිපතිවරයා මෙහි දී සිය සතුට පළකළේය. මෙවර මැතිවරණ ව්‍යාපාරය රට පිළිබඳ හැගීමක් ඇති සියලූ දෙනා එක පෙළට සිටගත යුතු මැතිවරණයක් බව පැවසූ ජනාධිපතිතුමා එය කිසිසේත් රටේ සංහිදියාව සහ සංවර්ධනය සඳහා ගෙනයන වැඩපිළිවෙළට බාධාවක් විය යුතු නැති බව ද අවධාරණය කළේය. අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරිහු රැසක් සහ පළාතේ ජනතාව මීට එක්වූහ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.