පිටු අඩු අසම්පූර්ණ වාර්තාවක් සභාගත කර ඇතැයි විපක්‍ෂය චෝදනා කරනවා නම් එවන් අසම්පූර්ණ වාර්තාවක් පිළිබඳ විවාදයක් ලබාදිය නොහැකි බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (31 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.
පාර්ලිමේන්තුවේදී බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා දූෂණ පිළිබඳ කොමිෂන් වාර්තාව සභාගත කළ පසු විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ අදහස් දක්‌වද්දී සභානායකවරයා මේ බව කීවේය.
වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක කරු ජයසූරිය මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (23 දා) පස්‌වරු 1.00 ට රැස්‌විය.
නිවේදන, වාර්තා, ලිපි ලේඛන ඉදිරිපත් කළ අතර බැඳුම්කර ගනුදෙනුවට අදාළව හා බරපතළ වංචා, දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා සභානායකවරයා විසින් සභාගත කළේය.
පසුව මන්ත්‍රීවරුන් විසින් අසන ලද වාචික පිළිතුරු අපේක්‍ෂිත ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු උත්තර දුන්හ.
සභාගත කළ ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ පක්‍ෂ නායකවරුන් අදහස් දැක්‌වීම සිදු කෙරිණි.
බන්දුල ගුණවර්ධන මහතා- මේ මහා මුදල් මංකොල්ල වාර්තාවේ ඇති පිටු ගණන පිළිබඳ ප්‍රශ්න මතු වුණා. සමහරු කීවා වාර්තාවේ කරුණු වෙනස් කරලා කියලා.
කථානායක- පළමුව ජනාධිපති ලේකම්වරයා මහ බැංකුවට හා නීතිපතිට වාර්තා යෑව්වා කියා ප්‍රකාශ කළා. ඉන් පසුවයි පාර්ලිමේන්තුවට දී තිබෙන්නේ. වෙන කිසි කෙනෙකුට නොදුන් බව ජනාධිපති ලේකම් කීවා.
බන්දුල ගුණවර්ධන මහතා- ඔබතුමා ඒ ගැන සහතිකයක් දෙනවද?
මේ අයට දඬුවම් දීම සඳහා අවශ්‍ය ශක්‌තිය ලබා දෙන්න අප සූදානම්. ජනාධිපතිතුමා කියා තිබෙනවා මීට සම්බන්ධ අයට දඬුවම් දීමට එතුමාට ශක්‌තිය දෙන්න කියා. අදාළ පුද්ගලයන් වහා අත්අඩංගුවට ගන්න.
චන්ද්‍රසිරි ගජධීර මහතා- මේ වාර්තාවේ පිටු සම්පූර්ණව තිබෙන බව කථානායකතුමාට සහතික කළ හැකිද?
කථානායක- ජනාධිපති ලේකම් කාර්යාලය පිටපත මට ලබාදී තිබෙනවා. අනුන්ගේ දේවලට මට සහතික දෙන්න බෑ. විවිධ අය විවිධ දේ කියන්න පුළුවන්. මට ලැබුණු වාර්තාව මම ඉදිරිපත් කළා.
සභානායක- මේ වාර්තාව පිළිගන්නේ නැත්නම් විවාද කරන්නේ කොහොමද? වාර්තා පිළිගන්නේ නැත්නම් විවාදයක් දෙන්න බෑනේ.
ගජධීර මහතා- අංග සම්පූර්ණ වාර්තාවක් සභාගත කළා කියා විශ්වාස කරන්න පුළුවන්. නමුත් එහි වෙනසක් වුණොත් වගකියන්නේ කවුද?
කථානායක- ඒක මම දන්නෙ නෑ. ඒක මට අයිති දෙයක් නොවේ.
අනුර කුමාර දිසානායක මහතා- වාර්තා දෙකක් තිබෙනවා. බැඳුම්කර වාර්තාව ගැනයි. මේ විවාදය ඇතිවුණේ. පිටු අඩුයි කියලා. කථානායකතුමා නිශ්චිතව දැනුම් දුන්නා මේක සම්පූර්ණ වාර්තාවක් කියා.එනිසා අපට එය පිළිගැනීමට බාධාවක් නෑ. නමුත් කවුරු හරි වෙනයම් කරුණක් මත මේ වාර්තාවට අතිරේක කරුණු හෙළිදරව් වුණොත් ජනාධිපති ලේකම් වගකිව යුතුයි. එවිට පාර්ලිමේන්තුව නොමඟ යෑවීමේ වරදට, මන්ත්‍රීවරුන්ට නිවැරදි තොරතුරු නොසැපයීමේ වරදට ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවිය යුතුයි.
පාර්ලිමේන්තුව අද (24) පස්‌වරු 1.00 දක්‌වා කල් තැබිණි.
-දිවයින-