ලංකාවේ කුඩ්ඩෝ 40,000ක්‌; දවසකට කිලෝ 4 ක් වෙළඳපොලට

ශ්‍රී ලංකාවේ ඇස්‌තමේන්තුගත හෙරොයින් භාවිත කරන්නන් 45,000 ක්‌ සිටින අතර ඔවුන්ට දෛනිකව හෙරොයින් කිලෝ 04 ක්‌ අවශ්‍ය බව අලුත්ම වාර්තාවලින් හෙළිවී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි ශ්‍රී ලංකා තොන්ගෝඩා සංවිධානය විසින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය 29 දා පැවැති එම හමුවේදී මහාචාර්ය රවීන්ද්‍ර මහතා මෙසේ ද කීය.

හෙරොයින් ලෝලීන් වෙනුවෙන් වසරකට හෙරොයින් කිලෝ 1478 ක්‌ අවශ්‍ය බව ඇස්‌තමේන්තු ගතකර තිබෙනවා. වැඩි වශයෙන් හෙරොයින් ලංකාවට ගෙන එනු ලබන්නේ ඉන්දියාවෙන් සහ පාකිස්‌තානයෙන් මාළු බෝට්‌ටු සහ වෙනත් ක්‍රම මගින් හෙරොයින් රටට ගෙන එනවා.

ශ්‍රී ලංකාවේ විශේෂයෙන් වියළි කලාපයේ නැගෙනහිර, ඌව සහ දකුණු පළාත් සීමාවන් තුළ නීත්‍යානුකූල නොවන ආකාරයට ගංජා වගා කර ඇති ඇස්‌තමේන්තුගත ඉඩම් ප්‍රමාණය හෙක්‌ටයාර 500 ක්‌ පමණ වෙනවා.

2020 වසර වන විට මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය, පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, සුරාබදු දෙපාර්තමේන්තුව, බන්ධනාගාරය, ශ්‍රී ලංකා රේගුව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව වැනි ආයතන ඒකාබද්ධ කරගෙන විශේෂ වැඩසටහනක්‌ රජය සකස්‌ කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

-දිවයින-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.