අපේ පක්ෂය හැදුනෙත් ආරක්ෂා වුණෙත් කොළඹ නිසයි – අගමැති රනිල්

අපි කොළඹට ණයගැතියි අපේ පක්ෂය හැදුනෙත් ආරක්ෂා වුණෙත් කොළඹ නිසයි. මීට පෙර ආණ්ඩු බලයේ සිටි පිරිස් කොළඹ නගරයේ අලංකාරත්වය පිළිබඳව කතා කළා. නමුත් ඇත්ත වශයෙන්ම අලංකරණය පිළිබඳව දැන ගැනීමට හැකි වුණේ මම අගමැති වූ පසුයි. අලංකාරය වෙනුවෙන් ඔවුන් ආරම්භ කළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් ගෙවා අවසන් කර නැහැ. ඔවුන් අලංකාරය වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘති වෙනුවෙන් වසර 03ක් ගත වන විටත් අපේ ආණ්ඩුවට ගෙවීමට සිදුව තිබෙනවා. ඔවුන් කළේ විශාල වශයෙන් මුදල් විනාශ කිරීම පමණයි. ඔවුන් කළ ඉදිකිරීම්වලට අද මුදල් ගෙවන්නට වෙලා තියෙන්නේද අපිට යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ පසුගියදා කොළඹ හැව්ලොක් සිටි සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ නැඟෙනහිර හා බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමේදීය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු නගර සභාවේ නිල කාලය අවසන් වූ බවත් එම නිසා ආණ්ඩු බලයත් නගර සභාවේ බලයත් යන දෙකම එජාපයට ලබා දෙන්න යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.

මගේ දේශපාලනය ආරම්භ වූයේ මෙම ස්ථානයෙන් බව මේ ශාලාවට පැමිණීමේදී මතක් වුණා. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 1972 දකුණු කොළඹ මැතිවරණ කොට්ඨාසය ඇති කිරීමෙන් පසුව වැල්ලවත්ත උතුර නාගරික කොට්ඨාසය මට භාර දුන්නා. ඒ කාලයේ මෙම ස්ථානයේ පැවතුණේ වැල්ලවත්ත රෙදි මෝලයි. මේ ප්‍රදේශයේ පිහිටා තිබූ තට්ටු නිවාසයේ වාසය කළ ප්‍රේමදාස මහතා අපිට මෙහි සංවිධායක කටයුතු සදහා සහයෝගය ලබා දුන්නා.
කොළඹ නගරයේ වගකීම භාර ගැනීමට බටහිර කොළඹින් පුරපතිවරයෙක් පත් කිරීමටයි දැන් අපි බලාපොරොත්තු වන්නේ.

අපේ ආණ්ඩුව යටතේ පසුගිය වසර කිහිපය තුළ අප විශාල වැඩ කොටසක් සිදු කළා. රටේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය කොළඹ නගරයයි. එමෙන්ම රටේ මධ්‍යස්ථානය ලෙස සැලකෙන්නේද කොළඹ නගරයයි. එම නිසා පසුගිය කාලය තුළ අපි රටේ ආර්ථිකය ස්ථාවර කළා. ආර්ථිකය හැදූ විට කොළඹ හැදෙනවා.

රට මුහුණ පා සිටි මූල්‍ය අර්බුදය කොතරම් විශාල ද කියනවා නම් හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධුරයද අතහැර පලා ගියා. අප එම රට භාරගත්තා. අද වන විට කෙසේ හෝ ණය ගෙවන මට්ටමකට රට පත්කර ගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ පව් අපට ගෙවීමට සිදුව තිබෙනවා. අද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. කොළඹ නගරය වෙනුවෙනුත් හොඳ ආර්ථිකයක් අප නිර්මාණය කළ යුතුයි. ජීඑස්පී ප්ලස් සහනය අප ශ්‍රී ලංකාවට නැවත ලබා දුන්නා. සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තා. ඒ හරහා අප විශාල සැලසුමක් නිර්මාණය කර තිබෙනවා. නුවර සිට හම්බන්තොට දක්වා දියුණු යටිතල පහසුකම් සහිත ආර්ථික කලාපයක් අපි ඇති කරනවා.

රටේ ආර්ථිකය ගොඩනඟන අතරම අප කොළඹ ආර්ථිකය අමතක කළේ නැහැ. අවුරුදු 10ක් තුළ නොවිසඳුණු ගැටලු සහ ඉදිරි අවුරුදු 10ක් තුළ පැමිණීමට නියමිත ගැටලුවලට පිළිතුරු සෙවීමට අපට හැකි වුණා. ඔවුන් අපට මීතොටමුල්ල කුණු කන්ද ඉතිරි කර ගියා. අවාසනාවකට මීතොටමුල්ල කුණු කන්ද නාය ගියා. ඉන් පසුව අප නැවතත් මීතොටමුල්ලට කුණු බැහැර කරනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළා. නමුත් අප දැන් කුණු බැහැර කරන්නේ අරුවක්කාරු ප්‍රදේශයටයි. කාලයක් පුරා ඔවුන්ට විසඳන්න බැරි වූ ප්‍රශ්නය අප විසඳුවා. අපේ වැඩකටයුතු වචනයට පමණක් සීමා වන්නේ නැහැ. මෙම වැඩකටයුතු සාර්ථකව ඉටුකරන්නේ නැතිනම් අපිට නගරය සංවර්ධනය කළ නොහැකියි. කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පවා අද විදුලි බලය අවශ්‍යයි.
ඒ වගේම වේගවත් මාර්ග, ප්‍රවාහන වැඩසටහන් ආරම්භ කිරීමට අපි පියවර ගනිමින් සිටිනවා.

උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල ආදී ප්‍රදේශවල ලොකුම ප්‍රශ්නය කුමක්ද? එනම් මත්ද්‍රව්‍යයි. මේ ප්‍රදේශවල සෑම කෙනෙක්ම මත්ද්‍රව්‍ය විකුණනවා. ඒවා මර්දනයට අපි තදින් ක්‍රියා කරමින් සිටිනවා. නමුත්, මම ඔබට කියන්නේ කුඩුකාරයන් නගර සභාවට පත් කරන්න එපා කියායි. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට නගර සභාව, පන්සල, පල්ලිය, කෝවිල ආදිය එකතු කරගනිමින් පාසල්, යොවුන් සමාජ, වෙනත් සංවිධාන එකතු කරගනිමින් පොලිසියත් සම්බන්ධ කරගනිමින් වැඩකටයුතු සිදුකරනවා. එම මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ වැඩසටහනේ මූලිකත්වය ගෙන කටයුතු කිරීම මම යොවුන් පාර්ලිමේන්තුවට පැවරුවා. ඒ වැඩකටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති රෝසි සේනානායක මැතිනිය එහි ප්‍රධානත්වය ගැනීම සුදුසු බව මම කල්පනා කරනවා.

එම එක්සත් ජාතික පක්ෂයට කොළඹ නගරය භාරදෙන්න. එවිට රටේ අගමැතිවරයාගේ සිට පහළට සියලු දෙනාටම මෙම නගරය පිළිබඳව අවධානය යොමු කළ හැකියි. ඒ වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අපි ඔබට හොඳ නගරාධිපතිනියක් ලබා දී තිබෙනවා. ඔබේ රැකියා, නිවාස, ස්වයං රැකියා බලාපොරොත්තු, ගැටලු අපි අපේ පාලකයන්ට විස¼දා දෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලු ජනතාවට එකට එක් වී ජීවත් විය හැකි ශක්තිමත් ආර්ථිකයක් ඇති අනාගතයක් මධ්‍යම පාන්තික සහ කම්කරු ජනතාවට සෑහීමකට පත් විය හැකි නගරයක් අපි ඇති කරමු.

තවත් වසර 04ක් යන විට මීටත් වඩා දියුණු නගරයක් අපි ඔබට ලබා දෙනවා. කොළඹ නගරය සංවර්ධනය ඉදිරියටම රැගෙන යන බවටත් මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.