ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව නිදහස් වෙළෙඳ ගිවිසුමකට

සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ කටයුතු ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙනයාමේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට ඊයේ(23) අත්සන් තැබිණි. දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය කැර ගැනීමට කටයුතු කරන බව සිංගප්පූරු අගමැති ලී ෂියෑන් ලුන් මහතා එහිදි පැවසිය.

නිල සංචාරක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අගමැතිවරයා ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී මේ බව කියා සිටියේය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි සිංගප්පූරු අගමැතිවරයා සහ එම මැතිණිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මැතිණිය ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ආචාර වෙඩිමුර සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය.

නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.එමෙන්ම දෙරට අතර වෙළෙඳ කටයුතු සීඝ්‍රයෙන් ඉදිරියට ගෙනයාමේ නිදහස් වෙළෙඳ ගිවිසුමට නායක

දෙපොළ ඉදිරියේ අත්සන් තැබුණු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අැමැති මලික් සමරවික්‍රම මහතා සහ සිංගප්පූරු රජය වෙනුවෙන් එරට වෙළෙඳ හා කර්මාන්ත අැමැති එස්.ඊෂ්වරන් මහතා ඊට අත්සන් තැබූහ. මෙහිදී අදහස් දැක්වූ සිංගප්පූරු අගමැතිවරයා ප්‍රකාශ කෙළේ දෙරට අතර අත්සන් තැබුණු මෙම නව ගිවිසුම මඟින් වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර තුළ දෙරටටම ප්‍රතිලාභ සැලසෙන නව අවස්ථා රැසක් ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවයි.

වෘත්තීය පුහුණු, නව රැකියා අවස්ථා සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍ර සඳහා සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහය ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව ද මෙහිදී අගමැතිවරයා සඳහන් කෙළේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට අදාළ ආයෝජන අවස්ථා විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර ඒ සඳහා සිංගප්පුරුවේ ආයෝජකයින් තවදුරටත් දිරිමත් කරන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ අගමැතිවරයා ඒ පිළිබඳ එළැඹෙන ව්‍යාපාරික හමුවලදී විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බව සඳහන් කෙළේය.

මූලෝපායික වශයෙන් සමානකම් රැසක් ඇති රටවල් දෙකක් ලෙස එම සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බොහෝ සෙයින් ඉඩ ප්‍රස්ථාව පවතින බව ද සිංගප්පූරු අගමැතිවරයා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය, සංචාරක, අන්තර්ජාල පාදක වාණිජ කටයුතු, බලශක්ති සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාවය ලබාදෙමින් දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කැර ගැනීම පිළිබඳවද මෙහිදී නායකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. සංචාරක ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව අවස්ථා පිළිබඳ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමා අගමැතිවරයාගෙන් කළ ඉල්ලීමට ද යහපත් ප්‍රතිචාරයක් හිමිවිය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරු රජයෙන් ලැබෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා එම කටයුතු තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමේ හැකියාව පෙන්වා දුන්නේය.

ලංකාවේ රාජ්‍ය සේවකයින් පුහුණුව සඳහා සිංගප්පුරුවෙන් ලැබෙන සහය අගය කළ ජනාධිපතිතුමා රාජ්‍ය සේවයකින් පුහුණ කරන ශ්‍රී ලංකාවේ ඇති ආයතනවල දියුණුව සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටි අතර ඒ පිළිබඳව සිංගප්පුරු අගමැතිවරයාගේ විශේෂ අවධානය යොමු විය. වෘත්තීය පුහුණ ක්ෂේත්‍රය තුළ නව අවස්ථා උත්පාදනයට සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශේෂයෙන් මානව සම්පත් ප්‍රවර්ධනය සඳහා සහයවන ලෙස ද ජනාධිපතිතුමා කළ ඉල්ලීම කෙරෙහි අගමැතිවරයාගේ අවධානය යොමු කෙරිණි. එමෙන්ම දැනට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සිංගප්පුරුවේ විවිධ ක්ෂේත්‍රවල සේවයේ නිරතවන අතර ඔවුන් ඉතා සතුටින් එහි සේවය කරන බව පැවසූ ජනාධිපතිතුමා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට තවදුරටත් සිංගප්පූරුවේ රැකියා අවස්ථා විවරකර දීම පිළිබඳ සොයා බලන ලෙස ද අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. දූපත් රාජ්‍යය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා සාමුහික උත්සහයක් දැරීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.ජාත්‍යන්තර වේදිකාවේදී සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව ඉතා සමීපව කටයුතු කරන අතර ආසියාන් සංවිධානය සමඟ ඉතා හොද සබඳතාවයක් පවත්වන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ආසියාන් සංවිධානය සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බැවින් එහි පාර්ශ්වික සංවාද පාර්ශ්වකරුවෙක් වශයෙන් බැඳීමට ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලීමට සහය ලබා දෙන ලෙස ද සිංගප්පූරු අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කෙළේය.

2015 වසරේ තමා ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව යහපාලන අරමුණු ජය ගැනීම සහ සංහිඳියාව වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කැර තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා එහිදී රටේ ආර්ථික වර්ධනයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇති බව ද කියා සිටියේය.රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපතිධූරයේ බලතළ පාර්ලිමේන්තුවට පවරාදීමට කටයුතු කළ අන්දම ද සිහිපත් කෙළේය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීම පිළිබඳ මෙහිදී සිංගප්පූරු අගමැතිවරයා වෙත සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා දෙරට අතර සබඳතා වර්ධනය කැර ගැනීමට සහ එම සබඳතා ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ව්‍යාප්ත කර ගැනීමට මෙම සංචාරය ඉවහල්වනු ඇති බව ද කියා සිටියේය.

එමෙන්ම සිංගප්පූරු අගමැති ලී ෂියෑන් ලුන් මහතාගේ පියාණන් වන හිටපු අගමැති ලී ක්වාන් යු මහතා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ සමීප සබඳතාවය ද සිහිපත් කළ ජනාධිපතිතුමා කිහිප අවස්ථාවකදීම එතුමා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අයුරු ද සිහිපත් කෙළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අැමැතිවරුන් වන ජෝන් අමරතුංග, තිලක් මාරපන, තලතා අතුකෝරල, සාගල රත්නායක, මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර,දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සිංගප්පුරු රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අැමැතිVivian Balajrishnan, වෙළෙඳ හා කර්මාන්ත අැමැති S.Iswaran, යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ සිංගප්පූරු මහ කොමසාරිස් S.Chandra Das, මහතා සහ පාර්ලිමේන්තු සාමාජිකයින් වනLiang Eag Hwa, Saktiandi Bin Supaat යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව සිංගප්පූරු අගමැතිවරයා සහ එම මැතිණිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය පිරිනමන ලද විශේෂ දිවා භෝජන සංග්‍රහය ද කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත් විණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *