ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැකි කාලසීමාව පිළිබඳව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව අර්ථ නිරූපනයක් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 32 (2) ව්‍යවස්‌ථාවට අනුව 2015 ජනවාරි 09 දා ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් තේරීපත්ව එම ධුරයේ කටයුතු කරන තමාට ඉදිරියට වසර 06 ක් එම ධුරය දැරීමට යම් බාධාවක් තිබේ ද යන්න ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනු ලැබ ඇති ප්‍රශ්නයයි.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 129 (1) වගන්තියට අනුව එකී ප්‍රශ්නය ජනාධිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත යොමුකර තිබේ. එම ප්‍රශ්නය ගැන ද සලකා බලා ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දරන මතය 2018 ජනවාරි 14 දාට හෝ ඊට පෙර තමා වෙත ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අගවිනිසුරුවරයාට දැනුම් දී ඇත.
ජනාධිපතිවරයා විසින් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා වෙත එකී ප්‍රශ්නය යොමු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්‌ට්‍රාර් මහේෂි ජයසේකර මහත්මිය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර් ද සිල්වා සහ නීතිඥ අමල් ඒ. රන්දෙනිය යන මහත්වරුන්ට ද ඊයේ ලිතව දන්වා ඇත.
එම ප්‍රශ්නය සලකා බැලීම සඳහා ලබන ජනවාරි 11 දා පෙරවරු 11.00 ට ශ්‍රේෂ්ඨාධිකරණය රැස්‌වීමට නියමිත බවත් ඒ පිළිබඳව සාමාජිකත්වය දැනුවත් කරන ලෙසත් රෙජිස්‌ට්‍රාර් ජයසේකර මහත්මිය නීතිඥ සංගමයේ සභාපති සහ ලේකම්ගෙන් ඉල්ලීමක් කර ඇත.
1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලව ජනාධිපතිවරයාට වසර හයක ධුර කාලයක් හිමි වුවත් එම ධුර කාලය වසර 5 දක්‌වා අඩු කිරීමට 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් පියවර ගනු ලැබිණි.
එම ව්‍යවස්‌ථා සංශෝධනය කළ වකවානුවේ සිටි ජනාධිපතිවරයාටත් මෙම සංශෝධන අදාළ වන්නේ ද නැද්ද යන්න දැන ගැනීම මෙම ඉල්ලීමේ අරමුණ බව දැනගැනීමට ඇත.
ජනාධිපතිවරයා යොමු කළ එකී ප්‍රශ්නය පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ. ටී. චිත්‍රසිරි සහ සිසිර ද ආබෲ යන මහත්වරුන්ගෙන් විනිසුරු මඬුල්ල සමන්විතය.