පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව තමන් ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. පළාත් පාලන ආයතන සඳහා පැවැති මැතිවරණයෙන් පසුව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාව (බී.බී.සී) විසින් කරන ලද විමසුමකදී මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පවසා තිබේ.
පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බවත් පවසා ඇති රාජපක්ෂ මහතා මෙම මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග රට තුළ මෙන්ම ආණ්ඩුව තුළ ද “අස්ථාවරභාවයක්” මතු වී තිබෙන බැවින් “මේ අස්ථාවරභාවයෙන් මුදාගන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනතා වරමක් ඉල්ලන්න ඕන කියන එක තමයි මම හිතන්නේ,” යනුවෙන් ද පවසා තිබේ.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව වත්මන් පාලක සන්ධානයේ ප්‍රධාන පක්ෂ දෙකම (ශ්‍රීලනිප – එජාප) පරාජය කරමින් ප්‍රබල ජයග්‍රහණයක් ලබාගැනීමට පොදු ජන පෙරමුණ සමත් වී තිබේ.
2018 පළාත් පාලන මැතිවරණයේ බලය අත්පත් කරගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලැබුණු පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 239 ක බලය අත්කරගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන ආයතන 41 ක බලය හිමිවූ අතර දෙමළ ජාතික සන්ධානය පළාත් පාලන ආයතන 34 ක බලය අත්පත් කරගත්තේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒ සමග එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් යන දෙපාර්ශ්වයටම එක්ව බලය ලබාගත හැකිවූයේ පළාත් පාලන ආයතන 10 ක පමණි.
“මම බොහොම සන්තෝස වෙනව මේ ප්‍රතිඵලය ගැන මොකද ජනතාව එදා 08 වෙනිදා (2015 ජනවාරි 08) කරපු වැරැද්ද ගැන අද හරි මාර්ගයට ඇවිල්ල තියෙනව, අවබෝධ කරගෙන තියෙනව,” යයි මහින්ද රාජපක්ෂ මහතා බී. බී. සී. පුවත් සේවයට පවසා තිබිණ.
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වා වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු නොවන නමුත් පාර්ලිමේන්තුවේ පක්ෂවල එකඟත්වයෙන් එය සංශෝධනය කළ හැකි බවද හිටපු ජනාධිපතිවරයා පවසා තිබේ.
“මහජනයා ඉදිරියට යන්න ඕන එයාලා, මම හිතන්නේ දැන් කරන්න තියෙන්නේ ඒක,” යයිද බී.බී.සී. පුවත් සේවයට පවසා තිබිණ.
පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බැවින්, ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේදී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ප්‍රකාශය සම්බන්ධයෙන්ද බී.බී.සී. සේවය රාජපක්ෂ මහතාගෙන් විමසා තිබේ. එයට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වී ඇත්තේ …..
“එයාට හීනෙන් පේනවා එහෙම ශක්තිමත් වෙලා කියල,” යන්නයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම ප්‍රතිඥා ඉටුනොකිරීම පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන වෙත චෝදනා කර තිබිණ.
“ඔයාලා ඇතුළු මේ ආණ්ඩුව බලයට ගේන්න ක්‍රියා කළ ජනමාධ්‍ය නිහඬ වෙලා” යයිද ඔහු චෝදනාවක් එල්ල කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයෙකු මෙන්ම පක්ෂයේ තවමත් අනුශාසක පදවිය ද දරමින් සිටියද පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීම පක්ෂයේ විනය කඩකිරීමක් නොවේ දැයි බීබීසී සිංහල සේවය මීට පෙරදී කළ විමසීමකට හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දී ඇත්තේ “පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන” යයි කියමිනි.
ශ්‍රීලනිපයේ වත්මන් මධ්‍යම කාරක සභාව “නීත්‍යානුකූල නැති” බවත් කියා ඇති මහින්ද රාජපක්ෂ මහතා වඩාත් අවධාරණය කර කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා තමන් නොවන බවයි.