අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පෙබරවාරි මස 8 වන දින පස්වරු 3ට පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේදී සිදු කිරීමට තීරණය කර තිබේ.
විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පිළිබඳව තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණි.
හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගතකර සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද (03) පෙරවරුවේ අපවත් වුණි.
විහාරස්ථානයේ මියන්කුමාර නැමැති ඇත් පැටවාට ආහාර ලබාදීමට යාමේදී ඊයේ මෙම අනතුරට ලක්වූ උන්වහන්සේ කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණි.
අනතුරුව උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක් වෙත මාරු කර යැවූ අතර එහිදී පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ට පැය 10 ක පමණ ශල්‍යකර්මයක් සිදුකර තිබුණේ උන්වහන්සේගේ ඉල ඇට කිහිපයක් සහ දකුණු උරහිසේ අස්ථිය බිඳී ගොස් තිබීම හේතුවෙන්.
කෙසේ වෙතත් මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් 75 වසරක් ආයු වළඳා අද පෙරවරුවේ අපවත් වුණි.
1942 වසරේ අප්‍රේල් 14 වැනිදා බණ්ඩාරගම ප්‍රදේශයේදී උපත ලැබූ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් දෙහිවල – නිකපේ විජයරාජ විද්‍යාලයෙන් සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරනු ලැබීය.
පසුව 1958 වසරේ පෙබරවාරි 28 වැනිදා එවක බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි වනු ලැබුවේ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් නමිනි.
අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්වූ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, එංගලන්තයේ ලැන්කෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති සහ ආචාර්ය උපාධි හිමිකරගෙන තිබේ.
ශාස්ත්‍රීය ධර්ම ග්‍රන්ථ රැසක් බෞද්ධ ජනතාව වෙනුවෙන් සම්පාදනය කළ උන්වහන්සේ බෞද්ධ සමාජය නඟා සිටුවීම උදෙසා ඉමහත් දායකත්වයක් ලබාදුන් යතිවරයාණන් වහන්සේ නමක ලෙසයි හැඳින්වෙයි.
සමාජයේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වන තුරුම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර හොබවනු ලැබීය.