ගෞරවාන්විතව ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට සිවිල් සංවිධාන අගමැතිට බල කරයි

රට තුළ දේශපාලන අරාජිකත්වයක් නිර්මාණය නොකර වහාම ගෞරවාන්විතව තම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිවිල් සංවිධාන බල කර සිටී.

වත්මන් යහපාලන රජය බලයට පත්කිරීමට දායක වූ සිවිල් සංවිධානයක් වූ ප්‍රජාත්‍රන්තවාදය සහ යහපාලනය සඳහා වූ ජනතා ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, “2015 ජනවාරි විප්ලවයේ පවිත්‍ර අපේක්ෂා දූෂණය කරමින් එම වසරේ පෙබරවාරි මස සහ ඉන් පසුව අවස්ථා දෙකකදී සිදුකල මහබැංකු බැඳුම්කර වංචාවත්, එම වංචනික ක්‍රියාව වසන් කිරීමටත් වංචාවක් සිදුව නොමැති බව තහවුරු කිරීම සඳහා සිය හිතවාදී පිටිපන කමිටුව හරහා උත්සහ දැරීමත්, මෙන්ම පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශ කරමින් වංචාවක් සිදුව නොමැති බව පවසමින් එම සිද්ධිය යටගැසීමට උත්සහ ගැනීමත් නිසා අග්‍රාමාත්‍යවරයා කෙරෙහි පැවති මහජන විශ්වාසය සහ මහජන අපේක්ෂාව මේ වනවිට යළි ප්‍රතිසංස්කරණය කල නොහැකි ලෙස බිඳවැටී තිබේ. එකී විශ්වාසය බිඳ වැටීම එ.ජා.ප පාක්ෂිකයින් කෙරෙන් ද මතුව ඇති බව 2015 අගෝස්තු 17 එ.ජා.ප මැතිවරණ ප්‍රතිඵල සහ මෙවර 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල දෙස විශ්ලේෂණාත්මකව බලන කල පෙනී යන බවයි.

මේ සම්බන්ධයෙන් එම සංවිධානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහත පරිදිය.

2018 පෙබරවාරි 14
ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
අරලියගහ මන්දිරය
කොළඹ 03.

ගරු අග්‍රාමාත්‍යතුමනි,

ගෞරවාන්විත ලෙස ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස කරනු ලබන කාරුණික ඉල්ලීමයි

2015 ජනවාරි 08 බලපෙරළිය උදෙසා 2014 දෙසැම්බර් 01 වන දින විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් ප්‍රධානව එවක විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ දසවැදෑරුම් ප්‍රතිපත්ති මාලාව සඳහා ගිවිසුම්ගත සංවිධාන 49 න් එක් සංවිධානයක් වන අප සංවිධානය මේ මොහොතේ උද්ගතව පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව අතිශය සංවේදී වී සිටිමු.

අපි විසින් පරාජයට පත්කරන ලද ඒකාධිපති, දූෂිත නරුමවාදී පාලනය නැවත අනපේක්ෂිත අයුරින් හිස ඔසවමින් සිටී. ඒ සඳහා සෘජුවම වගකිවයුත්තේ අතිපූජනීය සෝභිත ස්වාමීන්වහන්සේගේ පරම පිවිතුරු අපේක්ෂාව වූ සාධාරණ සමාජයක් ගොඩනැගීම පසෙකලා සිය දේශපාලන බල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට වර්තමාන පාලකයන් විසින් 2015 ජනවාරි 08 න් පසු කටයුතු කිරීම බව අපගේ හැගීමයි. එහි ප්‍රමුඛ සහ මූලිකම වගකීමෙන් මිදීමට එක්සත් ජාතික පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍යවරයා වන ඔබතුමන්ට නොහැකිය. ඔබතුමන් යටතේ පැවති නීතිපති දෙපාර්තමේන්තුව විසින් පසුගිය රජයේ අපරාධ සඳහා යුක්තිය ඉටුකිරීමට දැක්වූ ඇල්මැරුණු සහගත උත්සාහය සහ ඔබතුමන් ඇතුළු එජාපයේ ඉදිරිපෙළ නායකයින් පසුගිය රජයේ කුප්‍රකට නායකයින් සමඟ සිය බලව්‍යාපෘතිය සඳහා “දේශපාලන ඩීල්” මේ වනවිට ජනතාව අතර ප්‍රසිද්ධ රහසක්ව පවතී.

2015 ජනවාරි විප්ලවයේ පවිත්‍ර අපේක්ෂා දූෂණය කරමින් එම වසරේ පෙබරවාරි මස සහ ඉන් පසුව අවස්ථා දෙකකදී සිදුකල මහබැංකු බැඳුම්කර වංචාවත්, එම වංචනික ක්‍රියාව වසන් කිරීමටත් වංචාවක් සිදුව නොමැති බව තහවුරු කිරීම සඳහා ඔබතුමන් හට හිතවාදී පිටිපන කමිටුව හරහා උත්සහ දැරීමත්, එමෙන්ම පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශ කරමින් වංචාවක් සිදුව නොමැති බව පවසමින් එම සිද්ධිය යටගැසීමට උත්සහ ගැනීමත් නිසා ඔබතුමන් කෙරෙහි පැවති මහජන විශ්වාසය සහ මහජන අපේක්ෂාව මේ වනවිට යළි ප්‍රතිසංස්කරණය කල නොහැකි ලෙස බිඳවැටී තිබේ. එකී විශ්වාසය බිඳ වැටීම එ.ජා.ප පාක්ෂිකයින් කෙරෙන් ද මතුව ඇති බව 2015 අගෝස්තු 17 එ.ජා.ප මැතිවරණ ප්‍රතිඵල සහ මෙවර 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල දෙස විශ්ලේෂණාත්මකව බලන කල පෙනී යන බව අපගේ හැගීමයි.

එම නිසා බිඳවැටුණු යහපාලන අපේක්ෂා නැවත ජනතාව අතර දැල්වීමටත් ඉදිරි වසර දෙකක කාලය තුළ ජනතාව ඉල්ලා සිටි සාධාරණ සමාජය ගොඩනැගීමටත් පැහැදිලි වෙනසක් රජය තුළ සිදුවිය යුතු බව අපි දැඩිලෙස විශ්වාස කරමු. එම නිසා වහාම ජනතාව අතර ඔබතුමන් කෙරෙහි ඇති විශ්වාසය නැවත ගොඩනැගිය නොහැකි සේ පළුදු වී ඇති බව පිළිගෙන වහාම ගෞරවාන්විත ලෙස ධූරයෙන් ඉල්ලා අස්වී එම තනතුර බහුතර සිංහල බෞද්ධ ජනතාවටත් අන් සහෝදර ජාතීන්ටත් විශ්වසනීය පුද්ගලයකුට ලබා දීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අකලංක හෙට්ටිආරච්චි
ලේකම්
ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය සඳහා වූ ජනතා ව්‍යාපාරය

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.