ඉදිරි පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයටම පැවැත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පිටු 798කින් සමන්විත පළාත් සභා සීමා නිර්ණය කිරීමේ පනත මේ මස 22 වැනිදා දවසපුරා පාර්ලිමේන්තුවේදී විවාද කර 2/3ක බහුතරයකින් සම්මත කර ගැනීමට නියමිතය.
නමුත් නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවලට සභිකයන් පත්කිරීම නිසා මතුවී තිබෙන ගැටලු හේතුකොටගෙන පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයට පැවැත්විය යුතු බවට මේ වනවිට දේශපාලන පක්ෂ රැසකින්ම යෝජනා ඉදිරිපත් වී තිබේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ 60%ක් කේවල සහ 40%ක් සමානුපාතික ක්‍රමයටය.
පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට අනුව 50%ක් කේවල ක්‍රමයට සහ 50%ක් සමානුපාතික ක්‍රමයට යෝජනා කර තිබේ.
මේ අනුව පළාත් පාලන මැතිවරණයේ සභිකයන් තෝරාපත් කරගත් ආකාරයටත් වඩා ව්‍යාකූලත්වයක් පළාත් සභා නව මැතිවරණ ක්‍රමයෙන් ඇතිවීමට ඉඩ තිබෙන නිසා එම ගැටලු නිරාකරණය කරගන්නා තුරු පැරැණි මනාප ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දේශපාලන පක්ෂ කිහිපයක්ම එකඟත්වය පළ කර තිබෙන බව ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.
මෙම සීමා නිර්ණය කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් ලැබෙන අවස්ථාවක මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට කටයුතු කරන බවද එම අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කෙසේවුවද පළාත් සභා ඡන්ද කල්දැමීමට ආණ්ඩුවේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.