මහින්ද, රනිල්ට එරෙහි විශ්වාසභංග කථානායකට දෙයි; ඒත් මහින්ද, ගම්මන්පිල අත්සන් නොකරයි

චෝදනා දාහතරක්‌ යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්‌ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (21 දා) කථානායකවරයා වෙත භාරදෙන ලදී.

මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ නිල කාමරයේදී මෙම විශ්වාසභංග යෝජනාව ඊයේ (21 දා) පස්‌වරු 2.30 ට පමණ භාර දුන්හ.

මෙම විශ්වාසභංග යෝජනාවට ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක, රාජ්‍ය කළමනාකරණ හා පරිපාලන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිළමේ, වරාය නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම සහ ආණ්‌ඩු පක්‍ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රී කාදර් මස්‌තාන් යන මහත්වරු ද අත්සන් කර තිබේ. ඊට අමතරව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පනස්‌ එක්‌ දෙනකුද අත්සන් තබා ඇත. දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්‍ෂ, වාසුදේව නානායක්‌කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩලස්‌ අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, සාලින්ද දිසානායක, රංජිත් ද සොයිසා, මහින්දානන්ද අලුත්ගමගේ, රොෂාන් සේමසිංහ, ජානක වක්‌කුඹුර, කනක හේරත්, තාරක බාලසූරිය, ඉන්දික අනුරුද්ධ, විමලවීර දිසානායක, බන්දුල ගුණවර්ධන, නිරෝෂන් ප්‍රේමරත්න, ඩී. වී. චානක, නාමල් රාජපක්‍ෂ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත, ප්‍රේමලාල් ජයසේකර, විදුර වික්‍රමනායක, සී. බී. රත්නායක, රමේෂ් පතිරණ, දිලුම් අමුණුගම, කෙහෙළිය රඹුක්‌වැල්ල, කාංචන විඡේසේකර, ඩුලිප් විඡේසේකර, විජිත බේරුගොඩ, සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු, කුමාර වෙල්ගම, ප්‍රියංකර ජයරත්න, ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, එස්‌. එම්. චන්ද්‍රසේන, පද්ම උදයශාන්ත, මොහාන් පී. ද සිල්වා, චන්ද්‍රසිරි ගජධීර, නිමල් ලන්සා, ප්‍රසන්න රණවීර ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පනස්‌ එක්‌ දෙනකු මෙම යෝජනාවට අත්සන් කර ඇත. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා, සිරිපාල ගම්ලත් මහතා සහ රොෂාන් රණසිංහ මහතා විශ්වාසභංග යෝජනාවට අත්සන් කර නැත.

අගමැතිවරයා කෙරෙහි විශ්වාසය භංගවීමට හේතුවූ කාරණා දාහතරක්‌ (14 ක්‌) මෙම යෝජනාවේ සඳහන් කර තිබේ.

බැඳුම්කර වංචාවක්‌ සිදුකිරීමේ කූට අරමුණින් සම්මතයට පටහැනිව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත්කර අගමැතිවරයා එය තමන් යටතට පත්කර ගැනීම, ශ්‍රී ලංකා පුරවැසියකු නොවූද අපකීර්තිමත් ඉතිහාසයක්‌ ඇත්තා වූද බැඳියාවන් අතර ගැටුමක්‌ ඇත්තා වූද අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට යෝජනා කිරීම, මහ බැංකු බැඳුම්කර වංචාවට පැහැදිලිs ලෙස සම්බන්ධ වීම, එම වංචාවේ වංචනිකයන් බේරා ගැනීම සඳහා තම දේශපාලන හිතවතුන්ගෙන් සමන්විත පිටිපන කමිටුව පත්කර එකී වංචනිකයන් බේරා ගැනීමට උත්සාහ කිරීම, බැඳුම්කර වංචනිකයන් ආරක්‍ෂා කරමින් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පාර්ලිමේන්තුව නොමඟ යෑවීම, බැඳුම්කර වංචාව පිළිබඳ කෝප් කමිටුව විමර්ශනය කරමින් තිබියදී එම කමිටුවේ මන්ත්‍රීවරයකු වෙනස්‌කර නව සාමාජිකයකු පත්කර එම කාරක සභාව හරහා චූදිතයන් නිදොස්‌ කිරීමට උත්සාහ කිරීම, කෝප් කමිටු සාමාජිකයන්ට බලපෑම් කිරීම, බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට ජනාධිපති කොමිසමේදී හෙළිවූ නියෝජ්‍ය අධිපති සමරසිරි යන අයට මුදල් අමාත්‍යාංශයේ උපදේශක තනතුරක්‌ ලබාදීම සඳහා ඇමැති මණ්‌ඩලයට නිර්දේශ කිරීම, මහ බැංකු අධිපති ධුරයට වෙනත් අයකු පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරද්දී නැවත මහේන්ද්‍රන් මහතා එම ධුරයට පත්කර ගැනීමට වෑයම් කිරීම, මහ බැංකු අධිපති තනතුර අහිමිවූ පසුවද මහේන්ද්‍රන් මහතාට සිය අමාත්‍යාංශයේ උපදේශක තනතුරක්‌ ලබාදීම, අර්ජුන මහේන්ද්‍රන් මහතාට විදේශගතවී අධිකරණය මඟහැර සිටීමට අවස්‌ථාව සැලසීම, ශ්‍රී ලංකා මහ බැංකුව තමන් යටතට පත්කර ගනිමින් මූල්‍ය පාලනය පිළිබඳ අණපනත් උල්ලංඝනය කිරීම, රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක්‌ නිර්මාණය කර ජනතාව පීඩාවට පත්කිරීම, නීතිය හා සාමය පිළිබඳ ඇමැති ධුරය දරමින් මහනුවර දිස්‌ත්‍රික්‌කය තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ජන ජීවිතය ආරක්‍ෂා කිරීමට ක්‌ෂණික පියවර ගැනීමට අසමත් වීමෙන් ජීවිත හා දේපළ හානි සිදුකර ජාතික සමගිය බරපතළ ලෙස පලුදු කරමින් ජාත්‍යන්තරය හමුවේ මෙරට ප්‍රතිරූපයට කැළැල් ඇතිකිරීම යන කරුණු යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් අගමැති ලෙසද කැබිනට්‌ ඇමැතිවරයකු ලෙසද කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ විශ්වාසයක්‌ නැති බව සහ වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන ආණ්‌ඩුවට කටයුතු කිරීමේ හැකියාව පිළිබඳවද විශ්වාසයක්‌ නොපවතින බවට යෝජනා කරන බව විශ්වාසභංග යෝජනාවේ දැක්‌වේ.

මෙම විශ්වාසභංග යෝජනාව මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය තුළ භාර දෙන ලද 47 වැනි විශ්වාස භංග යෝජනාව වේ. අගමැතිවරයකුට එරෙහිව ඉදිරිපත් කළ තුන්වැනි විශ්වාසභංග යෝජනාවද මෙය වන බව පාර්ලිමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

1957 සැප්තැම්බර් 04 පළමු විශ්වාසභංග යෝජනාව එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක අගමැතිවරයාට එරෙහිව භාරදී ඇත. දෙවැනි විශ්වාසභංගය 1975.12.23 අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියට විරුද්ධව භාරදී ඇත. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ඊයේ භාරදෙන ලද්දේ අගමැතිවරයකුට එරෙහි තෙවැනි විශ්වාස භංග යෝජනාව වේ.

සාමාන්‍යයෙන් විශ්වාස භංග යෝජනාවකට ඡන්දය විමසීමේදී රහස්‌ ඡන්දයක්‌ නොපවත්වන අතර රහස්‌ ඡන්දයක්‌ අවශ්‍ය නම් කථානායකවරයාට ඒ පිළිබඳ විශේෂ යෝජනාවක්‌ ඉදිරිපත් කළ යුතු බව ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. ස්‌ථාවර නියෝග අනුව රහස්‌ ඡන්දයක්‌ පැවැත්විය හැක්‌කේ කථානායකවරයා තෝරාපත් කර ගන්නා අවස්‌ථාවේදී පමණක්‌ බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.