මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් ජීවිත හා දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ආරම්භ කර ඇති බව අගමැතිධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එම වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බවය.
මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවූ කලහකාරී සිද්ධීන් පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය මෙසේය.
ඊයේ රාත්‍රියේ සහ අද දින පවතින තත්ත්වය පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කිරීම සුදුසු යැයි මම කල්පනා කළා.
ඊයේ සවස හා රාත්‍රි කාලයේ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට, අලවතුගොඩ හා පූජාපිටිය ප්‍රදේශවල කලහකාරී සිද්ධීන් වාර්තා වුණා. ඇඳිරි නීතිය පැනවීම තුළ තත්ත්වය පාලනය කිරීමට හැකියාව ලැබුණා. මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත් කිසිදු ස්ථානයකින් සිදුවීම් වාර්තා වුණේ නැහැ. අද (8දා) උදෑසන 10ට ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබුවේ සාමාන්‍ය ජන ජීවිතයට වන බලපෑම අඩු කිරීමටයි. තත්ත්වය පාලනය කිරීම පහසුවීම පිණිස මහනුවර දිස්ත්‍රික්කයට ඊයේ සවස 6 සිට අද උදෑසන 6 දක්වාත් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළා.
මහනුවර දිස්ත්‍රික්කයෙන් පිට වැලිගම, ගිරිඋල්ල හා කුරුවිට ප්‍රදේශවල ගල් ගැසීම වැනි සුළු සිදුවීම් තුනක් වාර්තා වුණා. රටේ අනෙකුත් ප්‍රදේශවල තත්ත්වය සාමකාමීව පැවැතුණා.
දැනට අපට පෙනී ගොස් ඇති අන්දමට මෙම සිදුවීම මෙතරම් දිග්ගැස්සුණේ වෛරය පතුරුවන පණිවුඩ සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කිරීම නිසයි. ඒ නිසා අපි මේ සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අවහිර කළා. සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචණ්ඩත්වය හා වෛරය පැතිරවීමට කටයුතු කළ කිහිපදෙනකුගෙන් පොලිසිය දැන් ප්‍රශ්න කරගෙන යනවා.
මගේ නිර්දේශය මත ජනාධිපතිතුමා විසින් ඊයේ දින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කළා. ඒ අනුව එතුමා විසින් පූර්ණකාලීනව රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. අද උදෑසන මා නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යතුමා, ආරක්ෂක ලේකම්තුමා, නීතිය හා සාමය පිළිබඳ ලේකම්තුමා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිතුමා සමඟ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා. ඒ අනුව ගත යුතු පියවර පිළිබඳව තවදුරටත් උපදෙස් දුන්නා. මහනුවර දිස්ත්‍රික්කයේ ආහාර සැපයුම බාධාවකින් තොරව අඛණ්ඩවම පවත්වාගෙන යෑම සඳහා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වගේම හානියට පත් ජීවිත හා දේපළ වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ආරම්භ කොට තිබෙනවා. එම වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අප කටයුතු කරනවා.
කඩාකප්පල්කාරීන් සුළු පිරිසක් විසින් සිදුකරන ලද මෙවැනි අනුවණ ක්‍රියාවන් නිසා සමාජයීය හා ආර්ථික වශයෙන් රටට සිදුවූ හානිය ඉතා බරපතළයි. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන්ද අපකීර්තියට පත්වීමට අපට සිදුවුණා. ශ්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකයන් දැඩි ලෙස අපහසුතාවට පත්වුණා. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල පහරක්.
මෙම සිද්ධීන් ඉතා කුඩා පිරිසක් සංවිධානාත්මක ලෙස ඇති කරන ලද තත්ත්වයක්. සමස්තයක් වශයෙන් රටේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවට සහජීවනයෙන් ජීවත්වීමට බාධාවක් ඇතිවී නැහැ. අවුරුදු 30ක කුරිරු යුද්ධයකින් පීඩා විඳි ජනතාවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් වීමයි.
රටේ ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම රජයක් වශයෙන් අපගේ යුතුකමක් මෙන්ම වගකීමක්. අප ඒ සඳහා කැප වී ක්‍රියා කරනවා.
එබැවින් අවසන් වශයෙන් මා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් සහජීවනයෙන් යුතුව කටයුතු කිරීමට කැපවන ලෙසයි. අප සියලු දෙනා එක රටක් ලෙස එක ජාතියක් ලෙස කටයුතු කරමින් මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් මිදීමට පියවර ගනිමු.