සම්මුතිවාදී ආණ්ඩුවේ දෙකඩ වීම ශ්‍රීලනිපයටත්!

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගත් තීන්දුව අනුව වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දෙකඩ වීමකට ලක්ව ඇති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයි. අගමැතිවරයාට එරෙහිව පැවැති විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්‍ෂව ඡන්දය භාවිත කළ ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනා ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඇමැතිධුරවලින් ඉවත්වීමට තීරණය කළ බව රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ජනාධිපති නිල නිවසේදී ඊයේ (11) රාත්‍රී පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව තමන් ඇතුළු පිරිස මෙම තීරණය ගත් බව ලක්‍ෂ්මන් යාපා මහතා කීවේය.

බැඳුම්කර වංචාවට එරෙහිව අගමැතිවරයාට විරුද්ධව ඡන්දය දී තවදුරටත් ඔහු අගමැතිධුරය දරන ආණ්‌ඩුවක සිටීමට තමන්ට නොහැකි බවත් ඒ නිසා මෙම තීරණය ගත් බවත් හෙතෙම කීය.

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සභාවාරයේ සිට තමන් විපක්‍ෂයේ අසුන් ගන්නා බවත් එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එකතු නොවන බවත් රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

විපක්‍ෂයේ සිට වෙනම ශ්‍රීලනිප කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කරන බවත් අවශ්‍ය වේලාවට පක්‍ෂය සහ ජනපතිවරයා රැකගැනීමට එකතුවන බවත් ඇමැතිවරයා කීය.

ඒ අනුව කැබිනට්‌ ඇමැතිවරු 6 දෙනකු සහ රාජ්‍ය, නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනෙක්‌ද නියෝජ්‍ය කථානායකවරයාද සිය ධුරවලින් ඉවත්වනු ඇත.

මේ අතර එස්‌.බී. දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රීලනිපය තවදුරටත් ජාතික ආණ්‌ඩුවේ සිටිනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ඉදිරි මධ්‍යම කාරක සභාවේදී ගනු ලබන බවයි.

මේ අතර ආණ්‌ඩුව සහ ශ්‍රීලනිපය ශක්‌තිමත් කරමින් තමන් තවදුරටත් ආණ්‌ඩුවේ රැඳී සිටින බවට අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග විවාදයේදී ඡන්දය භාවිත කිරීමට නොපැමිණි ශ්‍රීලනිප කණ්‌ඩායම ඊයේ (11 දා) ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

මේ අවස්‌ථාවේදී ආණ්‌ඩුවෙන් යැමට තමන්ට කිසිම වුවමනාවක්‌ නැති බවත් ආණ්‌ඩුවේ ඉදිරි කාලය අවසන් වන තෙක්‌ රටට කළ හැකි සේවය ඉටුකරන බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක ඇතුළු ඇමැතිවරු පිරිසක්‌ ඊයේ (11 දා) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවේ මේ බව ප්‍රකාශ කර ඇත.

අනතුරුව අගමැතිවරයා හමුවේද ඔවුන් ඉහත අදහස්‌ ප්‍රකාශ කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *