2020ට ගම් 5000ක් සංවර්ධනය කෙරෙන ග‍්‍රාමශක්ති ව්‍යාපාරයේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට

ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (21) සිදුවිය.

මල් වගාකරුවන්ට ගැටලූවක්ව පැවති ස්ථාවර මිලක් සහ නව වෙළෙදපොළක් සොයා ගැනීමට මෙම ගිවිසුම මගින් හේලීස් සමාගම ඉදිරිපත්ව ඇත.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර එහිදි ජනාධිපතිතුමා ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබිණි.

දේශීය හා විදේශීය වෙළෙඳපොළ අරමුණු කරගෙන සීමා සහිත හේලීස් ආයතනයේ දායකත්වයෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ වැලිමඩ, ඌව පරණගම හා හපුතලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම විසිතුරු මල් වගා කිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වේ.

බදුල්ල සහ මොණරාගල දිස්ති‍්‍රක්ක සඳහා ග‍්‍රාමශක්ති ව්‍යාපාරය වෙනුවෙන් රජය ලබාදෙන මුදල්වල පළමු වාරිකය ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ඒ අනුව බදුල්ල දිස්ති‍්‍රක්කය සඳහා රුපියල් මිලියන 22.5 ක් ද මොණරාගල දිස්ති‍්‍රක්කය සඳහා රුපියල් මිලියන 16.5 ක් ලබාදීම සිදු කෙරිණි.

දිළිඳුකම පිටුදැකීමේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය දියත් කෙරිණි. එදා මෙදා තුර දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් සිදු කෙරුණු බොහෝ ව්‍යාපෘති දියත් කෙරුණේ රජය සහ ජනතාව අතර ගනුදෙනුවක් වශයෙනි. එහෙත් ග‍්‍රාමශක්ති ව්‍යාපාරය පළමු වරට, දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරයක් ලෙස සාර්ථකවීමට පෞද්ගලික අංශයේ දායකත්වය විධිමත් පරිදි යොදා ගැනීමට කටයුතු කරයි. එසේ කරනුයේ, ජනතාවගේ නිෂ්පාදනවලට වඩාත් හොඳ සහ ස්ථාවර මිලක් සහ අඛණ්ඩ වෙළෙඳපොළක් සම්පාදනය කිරීම සඳහායි.

ජනතාවට ස්වාධීනව නැගී සිටීමට අවශ්‍ය විභවය හඳුනාගෙන, ජනතාව විධිමත්ම සංවිධානය කොට ඉන් අනතුරුව, විශාල සමාගම් සමග සම සමව උරෙනුර ගැටී කටයුතු කළ හැකි ක‍්‍රමයක් මේ හරහා ඇති කෙරේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.