නැඟුනු ජනතා විරෝධය සහ මාධ්‍ය අනාවරණයන්ට අනුව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති අනුරුද්ධ පොල්ගම්පොළ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10) කටයුතු කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක මහතා අල්ලස් ගැනීමේ චෝදනාවකට අත්අඩංගුවට පත්වීමෙන් පසු හිස් වූ එම ධුරය සඳහා අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පසුගිය 04 වැනිදා පත්වීම් ලැබීය.
පොල්ගම්පොළ මහතාට රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධුරය පිරිනැමීම පිළිබඳව ජනාධිපතිවරයාට සහ රජයට බොහෝ විවේචන එල්ල වූ අතර ඔහු මීට පෙර කිහිප වතාවක්ම අල්ලස් ගැනීමේ චෝදනාවලට ලක්ව සිටි බවද ඒ අතර ප්‍රකාශ විය. ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ ජනාධිපතිවරයා වහාම ඔහුව එම ධුරයෙන් නෙරපා දැමීමට තීරණය කර තිබේ. මීට පෙර කිසිඳු ජනාධිපතිවරයෙකු හෝ වර්තමානයේ අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ කිසිඳු ප්‍රධානියෙකු එලෙස ජනමතයට නිහතමානීව සවන් දී තමන් සිදුකළ පත්කිරීමක් අවලංගු කිරීමට හෝ එම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ ඉඩ ලබාදුන්නේ නැත. ඊට හොඳම උදාහරණය නම් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පූර්ණ වගකීම ගෙන පත්කළ මහ බැංකු කොල්ලකරු හිටපු කුප්‍රකට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නම් හොරදෙටුවාව සිංගප්පුරුවට හොර රහසේ පැන්නුවා හැර මේ දක්වා ඔහුව ගෙන්වා අධිකරණයට ඉදිරිපත් නොකිරීමයි.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පසුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයට සම්බන්ධ වූවේය.
පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූ අනුරුද්ධ පොල්ගම්පොළ මහතාට රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධුරය දැරීමට හැකි වුණේ සතියක පමණ කාලයකි.