හොරු ඇල්ලීමට පැමිණි යහපාලන රජයට එම කටයුත්ත කිරීමට ඉඩ නොදුන්නේ කවුරුන් දැයි නොබෝ දිනකින් හෙළිකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (28) පෙරවරුවේ තමාට දුරකථනයෙන් ප්‍රකාශ කළ බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ මාදිවෙල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස සංකීර්ණයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.
ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපතිවරයාට හෙලිකොප්ටර් දෙකක් ලබාදුන්නේ කවුරුන්ද යන්නත් වෙඩි නොවදින වාහන 6 ක් ලබාදුන්නේ කවුරුන් ද යන්නත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය රැකගත්තේ කවුරුන්ද යන්නත් ඇතුළු කරුණු කාරණා රැසක් මෙසේ හෙළිකරන බව ජනාධිපතිවරයා පැවසූ බවද හෙතෙම පැවසීය.
එසේම කොල්ලකන ලද මහා ජාතික ධනය ඇති තැන් පිළිබඳවත් ජනාධිපතිවරයා හෙළිකරන බව පැවසූ රන්ජන් රාමනායක මහතා බැඳුම්කර කොමිසමෙන් හෙළිවූ කරුණුවලට අමතරව තවත් වැදගත් කරුණු රැසක් තමා සතුව ඇතැයි ද ඒවාද හෙළිකරන බවද සඳහන් කළේය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඇතුළු සැමගේ තොරතුරු, තොරතුරු දැනගැනීමේ පනත යටතේ තමාට වහා ලබාගන්නැයි ද ජනාධිපතිවරයා නියෝග කළ බවත්, ඒවාද රට හමුවේ නිරාවරණය කරන ලෙස ජනාධිපතිවරයා දන්වා සිටි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
තමා රැස්වීමකදී කළ කතාවක් ඊයේ ජාතික පුවත්පතක පළවී තිබෙනු දැකීමෙන් අනතුරුව ඒ පිළිබඳ කනස්සල්ල පළකිරීමට ජනාධිපතිවරයා ඇමතූ අවස්ථාවේදී මෙම කරුණු සඳහන් කළේය.