කොටි සැමරුම් ගැන රාජිතගේ ප්‍රකාශය රජයේ ස්‌ථාවරයද? දස දෙසින් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරති

කොටි සැමරීම නිවැරදි යෑයි කැබිනට්‌ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය රජයේත් ස්‌ථාවරය දැයි වහාම ප්‍රකාශයට පත්කළ යුතු බව දක්‌ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කරති.

ඇමැතිවරයාගේ උමතු ප්‍රකාශය ගැන ජනපතිවරයාත් අගමැතිවරයාත් සිය ස්‌ථාවරය රට හමුවේ හෙළි කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කරති.

මෙය ඉතාම බරපතළ ප්‍රකාශයක්‌ බවත් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට කළ දරුණු නිග්‍රහයක්‌ බවත් සෝභිත හිමියෝ ප්‍රකාශ කරති.

ජ. වි. පෙ. ට විරු සමරු කිරීමට හැකිනම් එල්. ටී. ටී. ඊ. යටද හැකි බවට කැබිනට්‌ ප්‍රකාශකවරයා කර ඇති ප්‍රකාශය ගැන කළ විමසුමේදී සෝභිත හිමියෝ ඉහත කැරුණු අවධාරණය කළහ.

මේ අතර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙරේදා (16 දා) කොළඹදී පැවති අමාත්‍ය මණ්‌ඩල මාධ්‍ය හමුවේදී ඊනියා දෙමළ නිජබිම් සංකල්පය මත පදනම්ව ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් වල වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීමට ත්‍රස්‌තවාදී කටයුතු වල නිරතවූ කොටි සංවිධානය දෙමළ සංහාර දිනයක්‌ සැමරීම ප්‍රශ්නයක්‌ නොවන බවට සිදු කළ ප්‍රකාශය රජයේ නිල ස්‌ථාවරයද යන්න පිළිබඳව අප්‍රමාදව රටට හෙළි කරන්නැයි ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (17 දා) ලිපියක්‌ යවමින් ඉල්ලීමක්‌ කොට ඇත.

නැතහොත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හෝ රජයේ නිල ස්‌ථාවරය කුමක්‌ද යන්න හෙළි කරන ලෙස ද එම ලිපියෙන් ඉල්ලීමක්‌ කොට තිබේ.

මේ අතර කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තම සංගමයේ විශේෂ අවධානය යොමුවී ඇති බවත් එම ලිපියේ සඳහන් කොට ඇත.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ. ඊනියා දෙමළ නිජ බිම් සංකල්පය මත පදනම්ව ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් වල වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීමට ත්‍රස්‌තවාදී කටයුතු වල නිරතවූ කොටි සංවිධානය සහ මාක්‌ස්‌වාදය මත පදනම්ව සමාජ වෙනසක්‌ අපේක්‌ෂාවෙන් ආණ්‌ඩු පෙරළියක්‌ උදෙසා කැරළි ගැසූ ජනතා විමුක්‌ති පෙරමුණේ ක්‍රියාකාරිත්වය වෙන් කර හඳුනා ගැනීමට නොහැකි පුද්ගලයෙක්‌ කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත්වීම කනගාටුවට කරුණකි.

රණවිරුවන් අතින් ත්‍රස්‌තවාදීන් නොවන අයද ඝාතනය විය යනුවෙන් කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක සිදු කළ ප්‍රකාශය රජයේ නිල මතය නම් එසේ කී දෙනෙක්‌ කවර දිනයන්හි කවර ස්‌ථානවලදී ඝාතනය වීද යන්න දැන ගැනීමට අපි කැමැත්තෙමු. තවද දෙමළ සංහාර දිනයක්‌ සැමරීම ප්‍රශ්නයක්‌ නොවේ යනුවෙන් සිදු කළ ප්‍රකාශය සාමයට ලැදි ජනතාවට ත්‍රස්‌තවාදය පරාජය කළ රණවිරුවන්ට කළ බරපතළ අපහාසයක්‌ ලෙස අපි දකින්නෙමු.

කොටි ත්‍රස්‌තවාදය මෙන්ම ඔවුන් මෙහෙයවූ මතවාදය පරාජයවීම වැළැක්‌වීම සිය උපරිම ශක්‌ති ප්‍රමාණයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතා මෙවන් ප්‍රකාශයක්‌ කිරීම විමතියට කරුණක්‌ නොවුවද කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ලෙස ඔහු සිදු කළ මෙම අවිනීත ප්‍රකාශ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ලෙස අපි දැඩි පිළිකුලෙන් බැහැර කරන්නෙමු.

තවද උක්‌ත කරුණ සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ රජයේ නිල ස්‌ථාවරයද නොඑසේ නම් ඒ පිළිබඳව ඔබතුමාගේ සහ රජයේ නිල ස්‌ථාවරය කුමක්‌ද යන්න අප්‍රමාදව රටට හෙළි කරන මෙන් අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *