ලෝක සාමය පතන ලොව පුරා ජනතාවට සැනසුමක් ලබා දෙමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර හමුව ඊයේ (12) සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ පිහිටි කැපෙල්ලා සුඛෝපභෝගී නිකේතනයේදී සිදුවිය.
මෙහිදී දෙරටේ නායකයෝ අතට අත දෙමින් එකිනෙකා පිළිගත්හ. මෙය ඉතාම සුවිශේෂීයි. උතුරු කොරියානු නායකයා හමු වීම ගෞරවයක්” ට්රම්ප් කීය.
මෙහි පැමිණීම පහසු වුණේ නැහැ. අපට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්න වුණා. පැරැණි පූර්ව විනිශ්චය කිරීම් පැරැණි පුරුදු ක්රියාමාර්ග අපට මෙහි පැමිණීමට බාධාවක් වුණා. එහෙත් අපි සියලු බාධක මැඩගෙන මෙහි ආවා” යෑයි උතුරු කොරියානු නායකයා ජනාධිපති ට්රම්ප්ට පැවසීය.
ඓතිහාසික හමුව සිංගප්පූරු වේලාවෙන් උදැසන නවයට ආරම්භ වූ අතර නායකයන් දෙදෙනා අතර පෞද්ගලික හමුවෙන් පසු ඔවුන් දෙදෙනාගේ සහ දෙරටේ නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතිව ඉහළ පෙළේ රාජ්ය තාන්ත්රික සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවලින් පසු ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා ගිවිසුමකටද අත්සන් තැබූහ.
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙම ඓතිහාසික හමුවෙන් පසු නැවත එකිනෙකා හමුවන බව ද ප්රකාශ කළහ. “ට්රම්ප්- කිම්” හමුවෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට ධවල මන්දිරයට ආරාධනා කර තිබේ.
අතීතය පැත්තකට දැමීමට අපි තීරණය කළා. ලෝක ජනතාව ඉදිරියේදී විශාල වෙනස්කම් රැසක් දකිවී” යෑයි ද උතුරු කොරියානු නායකයා එහිදී පවසා ඇත.
-ජනිත සෙනෙවිරත්න-
-දිවයින-