ශ්‍රීලනිපයේ එක් මන්ත්‍රීවරයෙකු හැර සියලු දෙනා ඇමතිවරු වෙති

නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක්‌ සහ නියෝජ්‍ය ඇමැතිවරු පස්‌ දෙනෙක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (12) දිවුරුම් දුන්හ. රංජිත් අලුවිහාරේ මහතා සංචාරක, සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු රාජ්‍ය ඇමැති ලෙසද, ලකී ජයවර්ධන මහතා කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමැති ලෙසද පත්ව ඇත.

ඊට අමතරව අජිත් මාන්නප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය ඇමැති, අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති, කාදර් මස්‌තාන් මහතා – නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති, එඩ්වඩ් ගුණසේකර මහතා – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලෙස සහ නලින් බණ්‌ඩාර මහතා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති ලෙසද පත් කර ඇත.

මෙම පිරිස අතරින් අංගජන් රාමනාදන් හා කාදර් මස්‌තාන් යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීන් වන අතර සෙසු පස්‌දෙනා එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීහු වෙති.

මීට අමතරව එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාටද නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ හිමිවීමට නියමිත අතර ඔහු මේ වනවිට ජපානයේ නිල සංචාරයක නිරතව සිටී. ඒ මහතා ලබන ඉරිදා යළි දිවයිනට පැමිණීමෙන් පසු එම ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ග පවසයි.

මේ අනුව යහපාලන රජය තුළ දැනට සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීන් අතරින් ඇමැති ධුරයක්‌ හිමිව නැත්තේ ශ්‍රීලනිප පත්කළ මන්ත්‍රි මලිත් ජයතිලක මහතාට පමණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.