යළි ආඥදායකයන්ට ඉඩ දෙන්නේ නෑ; මහ සඟරුවන ඒකාධිපතියකු ඉල්ලනවා නම් රටට වරදින තැන එතැනයි – ජනපති මෛත්‍රී කියයි

බෞද්ධයකු විදිහට මහා සංඝරත්නයට මා ඉතාමත් ගරු කරනවා. හැබැයි මහ සංඝරත්නය යම් තැනක අනුශාසනා කරනවා නම් මේ රටට ඒකාධිපතියෙක්‌ අවශ්‍යයි කියලා එතැන තමයි අපි වරද්දගත්ත තැන යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (21)කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ නිකවැරටිය කොටවෙහෙර “වෙහෙරපුර” නිවාස ව්‍යාපෘතිය ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පැවරීමේ උත්සවයේදී ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

මට මතකයි එක්‌ එක්‌ මැතිවරණවලදී කුරුණෑගල වයඹ පළාතේ විශේෂයෙන්ම ජල ප්‍රශ්නය පිළිබදව ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙකේම නායකයින් දුන් පොරොන්දු, ජයවික්‍රම පෙරේරා ඇමැතිතුමා එක්‌ මැතිවරණයකදී වයඹට ජලය කියා ප්‍රකාශනයකුත් නිකුත් කළා. එතුමාලා අපි නාවින්න ඇමැතිතුමා අද සෑම කෙනෙක්‌ම එක්‌වෙලා මොරගහකන්ද කඑ ගග ජලාශයේ වැඩ කටයුතු කඩිනම් කරලා කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය වගේම වැව් ටික පුරවාගෙන අනෙකුත් පානීය ජල අවශ්‍යතාවයන් සදහා විශාල වැඩපිළිවෙලක්‌ ගෙනයනවා. මේ ව්‍යාපෘති සදහා අපිට අන්තර්ජාතික වශයෙන් ලැබෙන සහයෝගය තුළ කිසිදු ආකාරයක මුදල් ප්‍රශ්නයක්‌ නැහැ. කඑ ගග මොරගහකන්ද ජලාශවල වැඩ අවසන් කරන්නත් මහ ඇළවල්වල වැඩ අවසන් කරන්නත් වැව් 2400 වැඩ අවසන් කරන්නත් ජාත්‍යන්තර වශයෙන් අපේ මිත්‍ර රටවල් සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුඑ සියලු ආයතනවලින් අවශ්‍ය මුදල් මේ වන විටත් සම්පූර්ණයෙන් ලැබී තිබෙනවා. අපි රජය විධියට අනෙකුත් ආයතවලින් සහයෝගය ගෙන කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ තිබෙන ජල ප්‍රශ්නය විසඳීමට වගේම උතුරු මැද වව්නියාව ප්‍රදේශවල ජල ප්‍රශ්න විසඳීමට අපි කටයුතු කරනවා.

කෘෂිකර්ම, වාරි මාර්ග ක්‌ෂේත්‍රය, නිවාස සංවර්ධන ක්‌ෂේත්‍රය අනෙක්‌ විවිධ ක්‌ෂේත්‍රවල ඉතා විශාල වැඩ කොටසක්‌ අපි රජයක්‌ විදියට කරලා තිබෙනවා. කරගෙන යනවා. එමෙන්ම හෙට දවසේ සිදු කරනවා. අපේ දේශපාලන ප්‍රතිවාදීන්, විරුද්ධවාදීන් නොයෙකුත් දේවල් කියනවා. හවසට රූපවාහිනිය බැලූ විට පෙනෙන්නේ මේ රටේ ආණ්‌ඩුවක්‌ නැහැ කියා. උදේ පත්තරේ බැලූ විට හිතන්නේ මේ රටේ ආණ්‌ඩුවක්‌ නැහැ වගේ කියා. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය මොනතරම් ද කියලා එයින්ම තේරුම් ගන්න පුඑවන්. විශේෂයෙන්ම මාධ්‍ය නිදහස අද මේ රටේ ආණ්‌ඩුවට විරුද්ධව දේශපාලන පක්‌ෂවල වැඩ කරන අය මොනතරම් මේ නිදහස භාවිතා කරනවාද යන්න මින් පෙනෙන පළමුවැනි කාරණාව. කරන යහපත්, සංවර්ධන වැඩ අද මාධ්‍ය තුළ ප්‍රමුඛත්වයක්‌ දෙන්නේ නැහැ. ආණ්‌ඩුවට විරුද්ධව කතා කරන දේවල්, දේශපාලනඥයින් අතරේ තිබෙන ආරවුල් තමයි මාධ්‍ය තුළ පෙන්වන්නේ. රටක්‌ සංවර්ධනය වීමට අවශ්‍ය ජනතාව විධිමත් කරන ජනතා බලාපොරොත්තු ඉටු වෙන යහපත් වැදගත් සංස්‌කෘතික සදාචාර සම්පන්න සමාජ පසුබිමක්‌ තිබෙන රටක්‌ විදියට යහපත්බව, සදාචාරය, විනයගරුක බව අද මාධ්‍ය තුළ ඉස්‌මතු කරන්නේ නැහැ. මාධ්‍ය තුළ ඉස්‌මතු කරන්නේ සැමවිටම ගැටුම්, ආරවුල්, අසමගිකම්, යම් මතභේදකාරි තත්ත්වයන්. මෙය මේ රටට කරන බරපතළ විනාශයක්‌ බව කිව යුතුයි.

2015 ජනවාරි මාසයේ 08 වැනිදා මේ රටේ ජනතාව මාව ජනාධිපතිවරයා විදියට පත්කර ගත්තේ ආහාර ඉල්ලා නොවේ. රැකියා ඉල්ලා නොවේ. 2015 ජනවාරි 08 මේ රටේ ජනතාව රටේ වෙනසක්‌ කරලා පරිවර්තනයක්‌ කරලා ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස යි, බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමේ නිදහස සහ අයිතිය. අද ඒවා සියයට සීයක්‌ම ශක්‌තිමත් කරලා තිබෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස මොනතරම් වැරදි විදියට භාවිතා කරනවාද කියලා අද ඔබ දන්නවා. ඒ නිසා තමයි සමහරු කියන්නේ මේ ආණ්‌ඩුව සැර මදි කියලා. සමහර අය කියනවා මම පණ මදි, මීට වඩා තද නායකයෙක්‌ වෙන්න ඕන කියලා. මම දැක්‌කා මාධ්‍ය තුළින් ඊයේ ස්‌වාමීන් වහන්සේලා කිහිපනමක්‌ කියලා තිබෙනවා අපේ රටට ඒකාධිපති පාලකයෙක්‌ ඕන කියලා. අපේ හාමුදුරුවනේ සමාවෙන්න, මම බෞද්ධයෙක්‌ විධියට මහා සංඝරත්නයට ඉතාමත් ගරු කරනවා. හැබැයි ඔබ වහන්සේලා යම් තැනක අනුශාසනා කරනවා නම්, මේ රටට ඒකාධිපතියෙක්‌ ඕනේ කියලා එතැන තමයි අපි වරද්ද ගත්ත තැන. ඒකාධිපතියෙකුගේ ස්‌වරූපය මේ රටේ ජනතාවට යම් ප්‍රමාණයකින් දැනිලා තිබුණ 2015 ට කලින්. ඒක අමතක වෙලා තිබෙනවා. ඒ නිසා තද පාලකයින් ඉල්ලනවා.

පාලනය දැඩි වැඩියි කියලා, තද වැඩියි කියලා, පාලනය ඒකාධිපති ස්‌වරූපයකට යනවා කියලා තමයි 2015 ජනවාරි 08 මේ රටේ ජනතාව වෙනසකට ලක්‌කළේ කියන එක අමතක කරන්න එපා. මේක මම පැහැදිළිවම කියන්න ඕන. ඒ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් කරලා, මානව හිමිකම් ශක්‌තිමත් කරලා, මාධ්‍ය නිදහස ඇතුඑ ඒ සියලු දේ දුන්නාම, ඒ සියලු දේම වැරදි විදියට භාවිතා කරලා ඒ ආයුධයෙන්ම අද අපිට ගහනවා. බණ්‌ඩාරනායක අගමැතිතුමාටත් මට අද කියන මේ කතා ටිකම තමයි කිව්වෙ. බණ්‌ඩාරනායක ඇමතිතුමාට ඒ කාලයේ කිව්වා සෙවල බණ්‌ඩා කියලා. කොන්ද පණනැති බණ්‌ඩා කියලා කිව්වා. එහෙම තමයි බණ්‌ඩාරනායක මහත්තයාට කිව්වෙ. එහෙම කියලා තමයි බණ්‌ඩාරනායක මහතාව මරලා දැම්මෙ. එතකොට අදත් ඒ ස්‌වරූපයට හැසිරෙනවා. අදත් ඒ විදියේ බණ්‌ඩාරනායක මැතිතුමාට භාවිතා කළ වචන අද මටත් භාවිතා කරනවා. බණ්‌ඩාරනායක අගමැතිතුමා මේ රටේ බලයේ හිටියේ වසර තුනහමාරයි. මේ රටේ සාමාන්‍ය ජනතාවගේ හදවත් තුළ එතුමා ගැන මතකය තිබෙන්නේ එතුමා පුංචි මිනිසුන් වෙනුවෙන් සමාජ පරිවර්තනයක්‌ කළ නිසයි.

මේ රටේ සමාජ පරිවර්තන සිදුකළ දේශපාලන නායකයින් කිහිප දෙනෙක්‌ ඉන්නවා. බණ්‌ඩාරනායක මහතා, රණසිංහ ප්‍රේමදාස මහතා ඒ නායකයින් අතරින් කිහිප දෙනෙක්‌. නමුත් මූලික වශයෙන් අද තිබෙන මේ සමාජ තත්වයන් ඇතැම් අය වැරදි විදියට භාවිතා කරනවා. ඔය ඉල්ලන ඒකාධිපතියෝ, ආඥාදායකයෝ, හමුදා පාලනයක්‌ වුණත් හොදයි කියන අය, ඒ අත්දැකීම පිළිබද අවබෝධයක්‌ නැතිවයි ඒ දේවල් කතා කරන්නේ. මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ප්‍රබුද්ධයින්, දේශපාලනඥයින් රාශියක්‌ ඉන්නවා. ඒ අය ඔය ඉල්ලන ආඥාදායකයෝ, ඉල්ලන ඒකාධිපතියෝ, මේ රටේ ඇතිවන්න කිසිවිටෙකත් ඉඩදෙන්නේ නැහැ. ඒක නිසා ආපු පාර වරද්දගන්න එපා. ආපු පාර වරද්දගෙන වළක වැටෙන්න ලෑස්‌ති වෙන්න එපා. අපි මේ කරන සංවර්ධනයත් එක්‌ක නිවැරදි දේශපාලන ව්‍යාපාරය අපි ශක්‌තිමත් කරනවා. රටේ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අයිතිවාසිකම්, ඒ සියල්ල එකට යායුතු වෙනවා. අපි මේ වසර තුනහමාර තුළ මේ රටේ කිසිම කාලයක නැති ජාත්‍යන්තර මිත්‍රශීලිභාවයක්‌ ඇතිකරගෙන තිබෙනවා. නිදහසින් පසු ලංකාවේ අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තිබෙන්නේ මේ වෙලාවේ. අද ලෝකයේ සියලු රාජ්‍ය නායකයින් සලකනවා. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සලකනවා. ඔබලාට මතක ඇති, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මම බලයට එන්න කලින් 2014 වනවිට සම්පූර්ණයෙන් අපෙන් ඈත් වෙලා සිටියේ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ කාර්යාලය ඉදිරිපිටට ගිහින් ආණ්‌ඩුවේම ඇමතිවරු උපවාස කරලා, ආණ්‌ඩුවේ නායකයා ගිහින් ඔවුන්ට තැඹිලි පොවලා, එක්‌සත් ජාතීන්ගේ සංවිධානයම නැතිකර ගත්තා. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්‌වරිය නවනීදන් පිල්ලේ ලංකාවට ආවාම ආණ්‌ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක්‌ කිව්වා එයාව විවාහ කරගන්නවා කියලා. ඒ වගේ හේතු නිසා ජාත්‍යන්තර සහය නැතිව ගියා. අන්තර්ජාතික සබදතා නැතිව ගියා. ලෝකයේ ජාත්‍යන්තර ප්‍රජාව අපි ඉන්නේ කොතැනද කියලා හිතලා මේ රට වෙනස්‌ කරන්න කටයුතු කළා.

අපි ආණ්‌ඩුවක්‌ විධියට පත්වුණාම ඒ සෑම කෙනෙක්‌ගේම විශ්වාසය දිනාගත්තා. අපි මේ යන ගමන පැහැදිළි නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක්‌ කියලා පැහැදිළිවම පිළිඅරන් තිබෙනවා. ඒ නිසා තමයි අපට අද ණය ආධාර ලැබෙන්නේ. ජාත්‍යන්තර සහයෝගීතාව ලැබෙන්නේ. හිටපු පාලනය ගැන ඔබලා ඔබේ හෘද සාක්‌ෂියෙන්ම අහන්න ඕන. හිටපු ජනාධිපතිතුමා තමන්ට බලයේ ඉන්න වසර දෙකක්‌ තිබියදී තමයි මැතිවරණයකට ගියේ. ඒ මැතිවරණයට ගියේ මුහුණ දෙන්න බැරි ප්‍රධාන ප්‍රශ්න දෙකක්‌ නිසා. එකක්‌ තමයි අන්තර්ජාතික වශයෙන් ඇතිවුණ ගැටලු විසදගන්න බැරිවීම. එදා ඇතිවුණ විදේශ ණය කන්දරාව සමග ඇතිවුණ ආර්ථික අර්බුදය. මේ ප්‍රශ්න නිසා තමයි වසර දෙකකට කලින් මැතිවරණයකට ගියේ. අපි ආණ්‌ඩුවක්‌ විදියට ඒ ප්‍රශ්න දෙකටම කර ගැහුවා. ඒ ප්‍රශ්න දෙක අපි විසදලා දුන්නා. ඒ නිසා සමාජය තුළ තිබෙන වැරදි දේවල්, අයහපත් දේවල්, අපි නිවැරදි කරලා තිබෙනවා.

සමාජය තුළ පවතින මාධ්‍ය තුළ පෙන්වන ගැටුම්, මතභේද, මේවා මේ රටේ ජනතාවගේ මනස විනාශ කරන්න කරන දේවල්. ජනතාවට ඒවා දැක්‌කාම ඇතිවන්නේ කඩාවැටීම. ජාතියක්‌, රටක්‌ විදියට ගොඩනැගෙන්න අධිෂ්ඨානශීලිභාවය, අවංකභාවය, කැපවීම, අපේක්‌ෂාවන්, ඒවා ඉෂ්ට කරගන්නයි කටයුතු කරන්න ඕන. ඒ ජනතාව නොමග යවන විදියට මාධ්‍ය නිදහස භාවිතා වෙනවා නම්, සමාජයේ පෙන්නුම් කරන යහපත් බව වැරදි විදියට කෙනෙක්‌ දකිනවා නම්, ඒ ගැන අපි ඉතාමත් කනගාටු වෙනවා. ඒ නිසා මේ සියලු තත්වයන් තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස ඇතුඑ සියලු ක්‌ෂේත්‍ර ගත්තොත් අපි ආණ්‌ඩුවක්‌ විදියට විශාල වැඩකොටසක්‌ කරලා තිබෙනවා. කරගෙන යනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *